නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිය ඇතුළු සැකකරුවන් පිරිසක් නිදන් වස්තු ලබාගැනීමට කැනීම් කළැයි කියන සිද්ධියට අදාළ පරික්ෂණ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට ඊයේ(20) නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ නිදන් හෑරීමේ සිද්ධියට අදාළ නඩුව මෝසමක් මගින් අධිකරණය හමුවේ කැදැවූ අවස්ථාවේදීයි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන භාරගන්නා ලෙසට තම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය දැනුම් දී ඇතැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය මෝසම මඟින් අධිකරණයට දැනුම් දුන්නා.
මෙහි සැකකරුවන් කැණීම් සිදුකර ඇති ස්ථාන පුරා විද්‍යා වටිනාකමක් ඇති භූමියක් ද යන්න සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා කැදවන ලෙසටද මෙහිදී අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිය ඇතුළු සැකකරුවන්ගෙන් අනුරාධපුර බන්ධනාගාරය තුළට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මෙහිදී අධිකරණය අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කළා.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ප්‍රසාද් ධර්මසේන පැවසුවේ අදාළ දේවාලය ඇතුළත අඩි 4 ක් පමණ ගැඹුරට කැනීම් කර වලක් හාරා ඇත්තේ පුද පූජා පවත්වන අවස්ථාවන්වලදී ආතුරයා එම වළ තුළට බැස්සවීම සඳහා බවයි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවේ සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරියකුගේ බිරියක සිටීම නිසා බවයි.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකු විමර්ශන නිලධාරීන්ට දුරකතන ඇමතුම් ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සදහා දුරකතන සමාගම් කිහිපයකට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරැණේ ඉකුත් නඩු දිනයේදීයි.
මෙහි සැකකරුවන් ලබන 26 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. ජයවීරගේ උපදෙස් මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරික්ෂකවරුන් වන එච්. එම්. හේරත් වන්නිනායක සහ එස්. නන්දසේන යන නිලධාරින් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ප්‍රමාද් ධර්මසේන සහ නීතිඥ සුසිල් සිරිවර්ධන අධිකරණයේ පෙනී සිටියා
