ට්‍රම්ප් – පුටින් සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන්

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබෙනවා.

ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡා මෙරට වේලාවෙන් අද (16) අලුයම අවසන් වුවා.

ලෝක බලවතුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබු නමුත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර පිටව ගියා.

මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බව ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණද, දෙදෙනාම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහෙත් දෙරටේ ජනාධිපතිවරු පවසා සිටියේ ඵලදායී එකඟතාවන්ට එළැඹුණු බවයි.
 
එහිදී “ගිවිසුමක් ඇති වන තුරු ගිවිසුමක් නැහැ” යනුවෙන් ට්‍රම්ප් පවසා තිබු එළැඹුණු එකඟතා ගැන යුක්‍රේන ජනාධිපතිවරයා සහ නේටෝව දැනුවත් කරන බව පවසා තිබෙනවා.

එමෙන්ම පුටින් පවසා ඇත්තේ යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට තමා “අවංකවම උනන්දු” බවයි. 

ඒ හැරෙන්න ජනාධිපතිවරු දෙදෙනාම මාධ්‍යවේදීන්ගේ  ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබුණෞ නැහැ.

ජනාධිපතිවරු අතර සාකච්ඡා සඳහා කිසිදු පරිවතකයෙකු එක් නොවූ බවද වාර්තා වනවා.

එම සාකච්ඡාව ඉංග්‍රීසි බසින් පවත්වා තිබෙන අතර, පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී රුසියානු බසින් කථා කිරීම විශේෂත්වයක්.

මේ අතර අතිශය සීමිත අවස්ථාවකදී ඉංග්‍රීසි භාෂාව ප්‍රසිද්ධියේ භාවිතා කරන පුටින්, ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මොස්කව් වෙත පැමිණෙන්නැයි ආරාධනා කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පවසා සිටියේ “ආ…, ඒක සිත්ගන්නා සුළුයි” යනුවෙන්.

එහිදී ඔහු පවසා ඇත්තේ 2022 වසරේ ට්‍රම්ප් පරිපාලනයක් පැවැතියේ නම් යුක්රේන රුසියා යුද්ධයක් ඇති නොවනු ඇති බවයි.

“මා ගුවන් යානයෙන් බැස්ස පසු ට්‍රම්ප්ට මගේ හිතවත් අසල්වැසියා”ලෙස ඇමතූ බව පුටින් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මෙම සාකච්ඡාවට සහභාගීවීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හට ආරාධනා නොලැබීම ද විශේෂත්වයක්.

ඒ හේතුවෙන් සාකච්ඡාවට පෙර සිටම යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබුණේ, තමන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ගන්නා තීරණ ඵලරහිත බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනයට සහාය දක්වන යුරෝපීය රටවල් සඳහන් කර තිබුණේ, යුක්‍රේනය එකඟ නොවන කිසිදු කොන්දේසියකට තමන් ද එකඟ නොවන බවයි.

2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය වනවා.

එමෙන්ම අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් වසර 6කට පසු මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාවද මෙයයි.

Author

Related Posts