නිදහසේ මැරෙන්නවත් බැරි ඇල්පිටිය මූලික රෝහල

ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළසිරුරු තැන්පත් කරන ශීතකරණය ක්‍රියා විරහිත වී මාස 06 කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් එය අලුත්වැඩියා කිරීමට කටයුතු නො කිරීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවට වන පුවතක් අද මව්බිම බලපිටිය වාර්තාකරු දම්සරී ලියනගේ වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලේ දී මිය යන රෝගීන්ගේ මළ සිරුරු බලපිටිය මූලික රෝහලට හෝ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට සිදු වන බවත්, මෙම ගැටලුව නිසා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට මළසිරුරු බලපිටියෙන් හෝ ගාල්ලෙන් ලබාගෙන නැවත ඇල්පිටියට රැගෙන ඒමට විශාල මුදලක් වැය කිරීමට සිදු වන බවත්, රෝහල් බලධාරීන් විසින් පෙන්වා දෙනු ලබනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රදේශවාසීන් ද සඳහන් කළේ, හදිසි මරණ පරීක්ෂණ සඳහා වෙනත් රෝහල් වෙත යෑමට වැඩි වියදමක් දැරීමට සිදු වී තිබීම හේතුවෙන් හා මළසිරුරු ප්‍රවාහනයට වැය වන මුදල ද මේ වන විට වැඩි වී ඇති බැවින් තමන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ඒ.එච්. කුරුප්පු ආරච්චි මහතා ඇල්පිටිය සම්බන්ධීකරණ කමිටුවේ දී පවසා සිටියේ, “මෘත ශරීරාගාරයේ ශීතකරණ වැඩ කරන්නේ නැහැ. කන්ටේනර් පෙට්ටියේත් දොර අබලන් වෙලා. මේ හේතුවෙන් මළ සිරුරු බලපිටිය රෝහලට හෝ කරාපිටිය රෝහලට ගෙනියන්න සිද්ධ වෙලා තිබෙනවා. ඇල්පිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරය මූලික රෝහලකට ගැළපෙන්නේ නැහැ. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් ලෙස ඉගෙන ගන්නා 1990/1992 කාලයේ මහ මෝදර රෝහලේ මීට වඩා හොඳ මෘත ශරීරාගාරයක් තිබ්බා. ඊට වසර 35කට පස්සෙත් මූලික රෝහලක මෘත ශරීරාගාරය මෙතරම් ප්‍රාථමික මට්ටමක තිබීම කණගාටුදායකයි.” යනුවෙනි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා “දකුණු පළාතේ රෝහල්වල මෘත ශරීරාගාර සමඟ බැලුව ම ඇල්පිටිය මෘත ශරීරාගාරය ඉතා ම පහළ මට්ටමක තිබෙන්නේ. මේවා වසර ගණනාවක් තිබෙන පරිපාලන ගැටලු. දැන් රටට රුපියල් තිබෙනවා. ඩොලර් තමයි නැත්තේ. ඒ නිසා මෙවන් ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරනවා යනුවෙන් පවසා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading