පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට ලීසිං වාරික නොගෙවූ වාහනයක් නීති විරෝධී ලෙස අත්පත් කරගත් සැකකාර සීසර්වරුන්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා කර තිබූ නිර්දේශයක් අනුව ඊට අදාළ නඩුව අවසන් කරන ලෙසට පොලීසිය කරන ලද ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනෙවිය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ නඩුවට අදාළ ලිඛිත දේශන දෙපාර්ශවයම අධිකරණයට ගොනුකළ යුතු බවය.
නීතිපතිවරයාගේ නිර්දේශය පිළිබඳව පොලීසිය අධිකරණයට දැනුම් දීමෙන් පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා ඇත්තේ ප්‍රශ්නගත වෑන් රථය සීසර්වරුන් අත්පත් කරගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් වශයෙන් වංචනිකව පෙනී සිටිමින් බවට අවසන් විමර්ශනය සිදුකරන අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය නීතිපතිවරයාට ලිඛිතව දන්වා ඇති පසුබිමක නීතිපතිවරයාගේ දැනුම් දීම ගැටලු සහගත බවයි.
එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් මිහින්තලේ සහ කවරක්කුලම පොලීසි විසින් ඉදිරිපත් කළ මුල් බී වාර්තා හා අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඉදිරිපත් කළ වාර්තාවල සඳහන් කරුණුවල පරස්පරතාවයක් පවතින බැවින් ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ඊට පෙර අධිකරණය නියෝග කර තිබේ.
