16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරෙන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ සිසුන් සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම සීමා කිරීම සහ වළක්වාලීම අරමුණු කරගත් “සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත” (Social Media Minimum Age Bill) පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දී තිබේ.

මෙය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇත.

මෙම නව පනත් කෙටුම්පත මඟින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි පැනවීමේ පුළුල් බලයක් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරෙන අතර, ඒ අනුව මෙරට ක්‍රියාත්මක අන්තර්ජාල සේවා සපයන්නන් සහ ජාත්‍යන්තර සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත සෘජුවම නියෝග සහ රෙගුලාසි පැනවීමට අමාත්‍යවරයාට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම, බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් සෑදීම සීමා කිරීම සඳහා වයස් තහවුරු කිරීමේ තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමටද මෙමඟින් මඟ පෑදේ.

ශ්‍රී ලංකාව තුළ පාසල් සිසුන් ඇතුළු බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය වෙත දැඩි ලෙස ඇබ්බැහි වීම, එමඟින් ඔවුන්ගේ අධ්‍යාපනයට සිදුවන බාධා සහ මානසික සෞඛ්‍ය පිරිහීම මෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන විවිධ අපරාධවලට දරුවන් ගොදුරු වීම වැළැක්වීම මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ලෝකයේ දියුණු රටවල් කිහිපයක්ම දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් මෙවැනි දැඩි නීතිරීති මේ වන විටත් සම්මත කර තිබේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය වැනි රටවල් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ දැඩි ලෙස සීමා කිරීමට අදාළ ඓතිහාසික පනත් කෙටුම්පත් සම්මත කර ගත් අතර, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්ද (උදාහරණයක් ලෙස ෆ්ලොරිඩා ප්‍රාන්තය) බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය ජාලාවලින් ආරක්ෂා කරගැනීම සඳහා දැඩි වයස් තහවුරු කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අනිවාර්ය කර ඇත.

මෙම ගෝලීය ප්‍රවණතාවයත් සමඟ, තාක්ෂණික සමාගම්වලට නීත්‍යානුකූලව වගකීම් පැවරීම මඟින් ළමා පරපුර අන්තර්ජාලයේ අහිතකර බලපෑම්වලින් මුදවා ගැනීමට ලොව පුරා රටවල් රැසක් මේ වන විට ක්‍රියා කරමින් සිටියි.

Author

Related Posts