පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම අද (24) අභියාචනාධිකරණය හමුවේ නැවත විභාගයට ගැනුණි.
එහිදී, හිටපු ජනාධිපතිවරයා සහ ස්විස්ටර්ලන්තයෙන් දේශපාලන රැකවරණ ලබා සිටින අසාද් මවුලානා නමැත්තා එකට සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අදාළ ඡායාරූපය ගත් ආකාරය හෝ ඒ පිළිබඳ කිසිදු මතකයක් තම සේවාදායකයාට නොමැති බවයි. දේශපාලනඥයන් හමුවීම සඳහා දිනපතා විවිධ තරාතිරමේ පුද්ගලයන් නිරන්තරයෙන් පැමිණෙන බැවින්, එවැනි සාමාන්‍ය ඡායාරූපයක් පිළිබඳව මතකයක් නොතිබීම පුදුමයට කරුණක් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
2017 වසරේ ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පැවති සාකච්ඡාවකදී අසාද් මවුලානා මුණගැසුණු බව වන ප්‍රකාශය ජනාධිපති නීතිඥවරයා එහිදී මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් එම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව කියන කරුණු, සාමාන්‍යයෙන් දේශපාලඥයෙකු විසින් සිදුකරනු ලබන ආකාරයේ සාමාන්‍ය කතාබහක් පමණක් බව ඔහු සඳහන් කළේය.
අසාද් මවුලානා සමග පැවති හමුව හෝ අදාළ ඡායාරූපය ප්‍රතික්ෂේප නොකළද, අසාද් මවුලානා විසින් Channel 4 නාලිකාවට කර ඇති ප්‍රකාශය සහ ඔහු ලබාදී ඇති දිවුරුම් පෙත්සමක කරුණු අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා, එම කරුණු කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ ඒවා බව අවධාරණය කළේය. අසාද් මවුලානා විසින් මෙරට අධිකරණය, නීතිඥවරුන් සහ ප්‍රකට දේශපාලන ඝාතන ඇතුළු සිදුවීම් රැසක් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ ද ඔහු එහිදී අධිකරණය හමුවේ කියවා පෙන්වීය.
එවැනි සැක සහිත කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කිරීම ලැජ්ජාවට කරුණක් බව පැවසූ රොමේෂ් ද සිල්වා මහතා, අසාද් මවුලානාගේ ප්‍රකාශ විශ්වාස කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
තවද, විශ්‍රාමික විනිසුරුවරුන්, විනිසුරුවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටු ගණනාවක වාර්තා මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කිසිදු කරුණක් සඳහන් කර නොමැති පසුබිමක, අසාද් මවුලානාගේ ප්‍රකාශයක් මත පමණක් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව, ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බැවින්, වැඩිදුර කරුණු දැක්වීම සඳහා පෙත්සම් විභාගය ජූලි 06 සහ ජූලි 09 යන දින දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
