NPP ආණ්ඩුව බලයට එන්න කලින් ගිනි තියලා පාරාජය කරන්නම් කියපු පනත, අද කරතියාගෙන යන්න උත්සාහ කරන බව විදුලි බලමණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත පවසනවා. ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ගෙන ආ පනතටම යම් යම් සංශෝධන කීපයක් සහ පොඩි වෙනස්කම් ටිකක් සිදු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
මෙම පනතේ සමහර වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයද තීන්දු කර තිබියදීත් ආණ්ඩුව මේ පනත ගෙන ඒමට උත්සාහ කරන බව ඔහු පැවසුවා. ව්‍යස්ථාවට පටහැනි වන ආකාරය පිළිබඳව අධිකරණය තීන්දු දුන්නද මේ හරහා සේවකයන්ගේ ජිවිත වලට සහ රැකියා සුරක්ෂිතත්වය කෙරෙහි බලපාන සැඟවුණු කාරණා බොහොමයක් ඇතුලත් වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
මෙහිදී අදහස් දක්වමින් විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදය කුමාර පැවසුවේ, මේ පනත මගින් අවුරුදු 20 ක් 30කට වැඩි කාලයක් තිස්සේ මණ්ඩලයේ සේවය කරන සේවකයන්ගේ කම්කරු අයිතීන් අමු අමුවේම උල්ලංගණය කරන බවයි. ඒ අනුව විදුලි බල මණ්ඩලය අහෝසි කර සේවකයන්ව නව සමාගම් වලට බලහත්කාරයෙන් අනියුක්ත කිරීම සඳහා වන ක්‍රියාවලියක් මෙහිදී සිදු වේ.
ජල විදුලිබලාගාර පවා පුද්ගලික අංශයට පැවරිය හැකි සංශෝධනයන් පවා මේ හරහා ආණ්ඩුව විසින් ගෙන ආ අතර අධිකරණයෙන් ඊට එරෙහි තීන්දුවක් ලබා දෙමින් පවසා ඇත්තේ ජල විදුලි බලාගාර අනිවාර්යයෙන් රජය සතුව පවත්වාගෙන යා යුතු බවයි. ඊට වෙනස් තීරණයක් රජය විසින් ගන්නේ නම් අනිවාර්යයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවද අධිකරණය නියෝග කර ඇති බව නන්දන උදය කුමාර සඳහන් කළා.
මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විමසීම සඳහා What News අපි විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සමග සාකච්ඡා කළා. ඔහු සඳහන් කරන ආකාරයට ජූලි 24 මේ පනත් සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතර අගෝස්තු 24 වන විට සේවකයන් සමාගම් වලට යැවීමට ද ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
දෙසැම්බර් මාසයේ සිට ජූලි මාසය වන තෙක් අමාත්‍යවරයාට සහ ජනාධිපතිට වෘත්තීය සමිති විසින් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලිපි 25කට අධික සංඛ්‍යාවක් යැවුවද කිසිදු පිළිතුරක් ලබා දී නැත. එම නිසා එරුත්තිය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට සහ ඒ සඳහා සේවකයන් දැනුවත් කිරීම සඳහා රටපුරා විදුලිබල මණ්ඩල කාර්යාල වල අත්පත්‍රිකා බෙදීමක් සිදු කරන ලදී. ඒ අතරතුර පසුගිය සතියේ ඇමතිවරයා හදිසියේම ඔහුට පහසු වේලාවක වෘත්තීය සමිති කීපයක් සමග රැස්වීමක් පවත්වා ඇමතිවරයාගේ කතාව කියා වෘත්තීය සමිති වල ඉල්ලීම් සඳහා කිසිදු සාධාරණ පිළිතුරක් නොදී අවසන් කර ඇත. දැන් අමාත්‍යවරයා විසින්, මේ පිළිබඳව වෘත්තීය සමිති සමග සාකච්ඡා කළ බව සඳහන් කරන්නේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන වෘත්තී නොමැතිව ඇමතිවරයා විසින් අත්තනෝමතික කටයුතු කරන ලද පසුබිමක් තුළය.
අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 42ක් සමග සාකච්ඡා කළා යයි බොරු ප්‍රචාර කරන බව පවසමින් ප්‍රභාත් ප්‍රියන්ත කියා සිටියේ විදුලි බල මණ්ඩලයට අදාළව කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති පවතින්නේ ද 25ක් පමණ බවයි.
ලබන සඳුදා වන විට අමාත්‍යවරයා හෝ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව වෘත්තීය සමිති වලට සාකච්ඡාවක් නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග වල පළමු පියවරක් ලෙස, පද්ධතිය අකර්මන්‍ය නොකර, ලෙඩ නිවාඩු දමා සේවකයින් 10000ක් කොළඹට ගෙනඒමට සැලසුම් කර ඇත. එම ක්‍රියාමාර්ගය ගන්නේ කවදාද යන්න එළඹෙන අඟහරුවාදා තීරණය කරන බවත් ප්‍රභාත් ප්‍රියන්ත පැවසුවා.
අඟහරුවාදාට පෙර සාකච්ඡාවක් ලබා දී මෙය ගොඩින් බේරා ගැනීමට ආණ්ඩුව එකඟ වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග ඇත හරින බවත් එසේ නොකළහොත් අකමැත්තෙන් වුවද ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදු වන බව ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වන ශේෂ්ඨාධිකරණ හරහා ලබා ගත් නඩු තීන්දුවෙන් ජයග්‍රහණ කීපයක් හිමි වුවද, ඊට අදාළ වන සේවකයන්ගේ රැකියා සහ අයිතිවාසිකම් වැනි දෑ දෙවන පියවර ලෙස ගෙන ආංශික කාරක සභාවට යොමු කර වෘත්තීය සමිති සමග සාකච්ඡා කර පනතට ඇතුළත් කර ගත යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
නමුත් ආණ්ඩුව එවැන්නක් සිදු නොකර තම හිතවතුන් කමිටු වලට පත් කර ඉතා අවිධිමත් ස්වරූපයකින් කටයුතු කරමින් සේවකයින් නොමග යවමින් සිටී. මෙහි අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කර ඇති පුබුදු නිරෝෂන් සහ වත්මන් ඇමතිවරයා යන දෙදෙනාම කලින් ආණ්ඩුව සමයේ මේ පනතට විරුද්ධව කටයුතු කළ අය වන අතර එවකට ඔවුන් මීට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග වලට පවා එළඹ ඇත. නමුත් කන්චන විජේසේකර කොටස් 12කට කඩා විකුණන්න හැදූ විදුලි බල මණ්ඩලය මේ ආණ්ඩුවෙන් කොටස් 5කට අඩු කරලා ඒ වැඩේම කරන්න යද්දී ඔවුන් ඊට පක්ෂව කටයුතු කරයි.
ආණ්ඩුව විසින් මෙහිදී සේවකයින්ගේ අයිතිවාසිකම්, වරප්‍රසාද සහ රැකියා සුරක්ෂිත තාවය පිළිබඳව සඳහන් කළ MOU එකක් වෘත්තීය සමිති සමග අත්සන් කිරීම, සේවකයන්ගේ ප්‍රබලම ඉල්ලීම බව විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත වැඩි දුරටත් කියා සිටියා.
