බඩ ඉරිඟු කාර්යය සාධන බළකාය විසින් බඩ ඉරිඟු සැපයුම වැඩි දියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව බඩ ඉරිඟු කාර්ය සාධන බළකායේ සභාපති බුද්ධික අබේසිංහ මහතා පවසනවා.
ඒ මහතා ඒ බව සඳහන් කළේ, බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් පත් කරන ලද බඩ ඉරිඟු කාර්ය සාධන බළකායේ පළමු තාක්ෂණික කමිටු රැස්වීම කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේ දී පැවත්වූ රැස්වීම සඳහා සහභාගි වීමෙන් අනතුරුවයි.
ඒ අනුව 2026 දී සත්ත්ව ආහාර නිෂ්පාදනය සහ මිනිස් පරිභෝජනය සදහා අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 750,000 ක් වුවත්, අපේක්ෂිත බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 485,000 ක් පමණක් බවත්, ඒ හේතුවෙන් ආනයන අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 255,000 ක් බවට පත් ව ඇති බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කරනු ලැබුවා.
අඩු ඵලදායීතාවය, ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ අඩුපාඩු, අලෙවි මිල අස්ථාවර වීම, ආනයනික බඩඉරිඟු අඩු මිලට ලබාගත හැකි වීම, කුකුළු ආහාර කර්මාන්තකරුවන් සහ වගකිව යුතු පාර්ශ්ව අතර සම්බන්ධීකරණයක් නොමැති වීම මෙම බඩ ඉරිඟු වගාව සඳහා පවතින ප්‍රමුඛතම අභියෝග බව ඒ මහතා පෙන්වා එහි දී දෙනු ලැබුවා.
එම ගැටලු මඟහරවා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් එම රැස්වීමේ දී මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ බවත්, බඩ ඉරිඟු සැපයුම වැඩි දියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කිරීම ගැටලු මහ හරවා ගැනීමට යෝජනා කළ සුවිශේෂී යෝජනාවක් වූ බවත් බුද්ධික අබේසිංහ මහතා සඳහන් කර සිටියා.
ඒ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීමට නව යන්ත්‍ර හඳුන්වා දීම, දේශීය දෙමුහුන් බීජ හඳුන්වා දීම, නිසි අස්වනු නෙළීම සහ පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු කිරීම සිදු කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කොට කියා සිටියා.
අවුරුද්දක් පුරා බඩ ඉරිඟු අලෙවි මිලක් තීරණය කිරීම, වෙළෙඳපොළ සැපයුම්කරුවන් සහ මිල දී ගන්නන් ලියාපදිංචි කිරීම සහ ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීම, දේශගුණ අවදානම් ආදිය ජය ගැනීම සඳහා බෝග ආරක්ෂණය මෙන්ම රක්ෂණ පහසුකම් වැනි අවශ්‍ය සේවාවන් නිර්දේශ කිරීම සහ බඩ ඉරිඟු නිෂ්පාදන හා අලෙවි සමුපකාර සමිති පිහිටුවීම මෙන්ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මැදිහත්වීම ද සිදු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙනු ලබන්නේ.
