හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ලබන 16 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හා එදිනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.
ඒ රුපියල් කෝටි දහයක පමණ වටිනාකමක් සහිත සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධී ව එකලස් කිරීමේ සිදුවීමකට අදාළ නඩුව කොටුව අධිකරණයේ දී පසුගිය දා කැඳවූ අවස්ථාවේ දී යි.
එම නඩු වාරයේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ, රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධී ව එකලස් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම අවස්ථා හයක දී මග හැර ඇති බවයි.
රජයේ අධිනීතිඥවරයා තවදුරටත් පෙන්වා දී සිටියේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පදිංචි ව සිටි කොල්ලුපිටියේ නිවසට අවස්ථා හයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් ඒ සෑම අවස්ථාවක දී ම නිවස ඉබි යතුරු දමා වසා දමා ඇති බව නිරීක්ෂණය වූ බවත් ය. කෙසේ වෙතත් අධිනීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ, විමර්ෂණයට සහාය නො දෙන්නේ නම් සැකකරුවකු ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගත හැකි බව යි.
එහි දී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ, සුජීව සේනසිංහ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වී ඇති බවත්, ඔහු තව දින කීපයකින් මෙරටට පැමිණීමට නියමිත බවත් ය.
කෙසේ නමුත් එම අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කරුණු දැක්වීම් සඳහා අවසර ඉල්ලා සිටියත්, ජනාධිපති නීතිඥවරයා ඊට විරෝධය පළ කළේ, සේවාදායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණු දැක්වීම් යුක්ති සහගත නොවන බව අවධාරණය කරමින්.
එහෙත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශක්ති ජාගොඩආරච්චි මහතා වෙත කරුණු දැක්වීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දෙනු ලැබූ අතර, දෙපාර්ශවයේ ම කරුණු සලකා බලා නඩුව ලබන 16 වන දා තෙක් කල් තබනු ලැබුවා.
