2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී දීප ව්‍යාප්ත දේපොළ බදු ක්‍රමය හඳුන්වාදීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.
මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙනවා.
දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කළ යුතු බව ද අදාළ වාර්තාවේ සඳහන්.
2027 වර්ෂයයේ දී මෙම නව බද්ද බලාත්මක කිරීම සඳහා දේපොළ බදුකරණ ක්‍රම පිළිබඳ සමගාමී සාකච්ඡා අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙනවා.
මොකක්ද මේ බද්ද?
අවසාන බදු ක්‍රමවේදයේ නිශ්චිත තොරතුරු තවමත් අවසන් කර නොමැති වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර නිර්දේශ කර ඇත්තේ, තමන් පදිංචිව සිටින සහ හිස්ව ඇති නේවාසික දේපොළවල අනුමාන කුලී වටිනාකම මත බදු පැනවීමයි. අනුමාන කුලී ආදායම යනු, නිවාස හිමියන්ට තම නිවාස කුලියට දීමෙන් උපයා ගත හැකි යැයි උපකල්පනය කරන ආදායමයි. මධ්‍යම රජය මගින් සෘජුව දේපොළ බදු පැනවීමට ඇති ඇතැම් ව්‍යවස්ථාමය සීමාවන් මගහැරීම සඳහා මෙම ක්‍රමය යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, අඩු අදායම්ලාභීන්ගේ දේපළවලට මෙම බද්ද පැනවෙන්නේ නැහැ. දේපළවල වටිනාකම වැඩි වන තරමට බදු ප්‍රමාණය වැඩි වෙනවා.
ඊට අමතරව මෙම බද්ද එකවරක් පමණක් ගෙවන බද්දක් නොවෙයි. මෙය කුලී වටිනාකමක් වාගේ ගෙවිය යුතු බද්දක් වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මෙම බද්ද පිළිබඳ එකඟතාව 2023 දී ඇති කර ගත්තා. කෙසේ වෙතත්, එම බද්ද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැපයීමට කාලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තක්සේරු කිරීම්, දත්ත ලබාගැනීම් සහ දත්ත ඩිජිටල්කරණය කිරීම යනාදී පියවර ගැනීමට සිදු වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කර තිබෙන්නේ 2025 සැප්තැම්බර් වන විට එම කටයුතු අවසන් වනු ඇති බවයි.
තක්සේරු කළ දේපළ වටිනාකම් සහ ගණනය කළ බදු ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුළත් කෙරෙනවා. මෙම පද්ධතියට Sales Price and Rents Register – SPRR ඇතුළත් වෙනවා. 2026 අවසන් වෙද්දී එම කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වන බව කියනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කරන්නේ, නිසි සීමාවන් සහ ප්රගතිශීලී අනුපාත සමඟ සැලසුම් කරන්නේ නම්, මෙම අනුමාන කුලී ආදායම් බද්දෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4% ත් 0.6% ත් අතර ආදායමක් ලැබිය හැකි බව.
කෙසේ වෙතත් මෙම නව බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග කිහිපයක් පවතිනවා. විශේෂයෙන්ම දේපළ තක්සේරු කිරීම ප්‍රධාන අභියෝගයක්. ඊට අමතරව සැබෑ ලෙසම ආදායමක් නැති නමුත් වටිනා දේපළකට හිමිකම් කියන පුද්ගලයන් එයට බදු ගෙවන්නේ කෙලෙසද යන්න තවත් අභියෝගයක් වෙනවා.

දැන් ආණ්ඩුවේ ප්‍රකාශක IMF ද?