පිල්ලෙයාන්ගේ ඝාතන සිද්ධි පහකට විමර්ශන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධ ඝාතන සිදුවීම් පහක් ගැන විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි ලංකාදීප වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් කණ්ඩායම් කීපයක් විමර්ශනය ආරම්භ කර ඇතැයි කියනවා. කෙසේ වෙතත්, අපගේ ආරංචිමාර්ග පවසන්නේ පිල්ලෙයාන් විසින් සිදුකළායැයි කියන ඝාතන 30කට අදාල ප්‍රමාණයක් ගැන මූලික තොරතුරු හෝ ලැබී තිබෙන බව. විශේෂයෙන් එක්තරා ස්ථානයක තිබෙන සුසාන භූමියක් පිල්ලෙයාන් කල්ලියේ අපරාධ මත ඇති වූ එකක්දැයි සැකයක් පවතිනවා.

එම සිද්ධීන් අතර පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ද පවතින බව විමර්ශනවලදී අනාවරණය වීයැයිද කියා තියෙනවා.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාලව එම තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය ලංකාදීප පුවත්පතට කියා තිබෙනවා.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරය අතුරුදන් කීරීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මඩකලපුවට යවා ඇති බවත් එම පුවතේ සඳහන් වෙනවා.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ හේතුව ලෙස සඳහන් කර තිබුණේ, 2004 සිට 2006 දක්වා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ සිවසුබ්‍රමනියම් රබීන්ද්‍රනාත්ව 2006 දෙසැම්බර් 15 වැනිදා පැහැරගැනීමේ සිදුවීමට අදාලවයි. මේ පිළිබඳ අවුරුදු 19කට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන අතර, එම සිදුවීමට අදාලව අධිකරණය හරහා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම වෙනුවට පිල්ලෙයාන්ව රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යොදා ගත්තා.

පිල්ලෙයාන් 1990 වසරේදී එල්ටීටීඊ සංවිධානය එකතු වුණා. එවිට ඔහුගේ වයස අවුරුදු 16ක් වුණා. 2004 දී කරුණා අම්මාන් පාර්ශ්වයට එකතු වුණා. ඉන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එක්ව, 2008 ඉඳන් 2012 දක්වා ඔහු නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළා. 2020 මහමැතිවරණයට එක් වූ ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස පත් වුණා.

මීට අමතරව ඔහු 2005 දෙසැම්බර් 25 වැනිදා මඩකලපුව කිතුණු දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටි ජෝසෆ් පරරාජසිංම් මන්ත්‍රීවරයාව වෙඩි තබා ඝාතනය කළා. 2015 දී එම ඝාතනය පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබාගෙන සිටියා. එම කාලසීමාවේදී අත්අඩංගුවේ සිටි ෂයිනි මවුලවි හෙවත් සහරාන් හෂ්මිගේ සහෝදරයාව ඔහුට මුණගැසී තිබුණා. ඔහු යටතේ සේවය කළ අසාත් මවුලානා බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාවේ වැඩසටහනකට එක් වෙමින් පවසා තිබුණේ, එලෙස ඇති වු හැඳුනුම මත සහරාන් කණ්ඩායම රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ සුරේෂ් සලේ හා සම්බන්ධතාවක් ඇති වූ බව.

Author

Related Posts