”ඉඩම යනු හුදෙක් වෙළඳ භාණ්ඩයක් පමණක් නොවේ, එය බොහෝ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි.”
කඳුකර ජනතාවගේ එසේත් නැත්නම් මලයග ජනතාවගේ ඉඩම් සම්බන්ධ ගැටළුව වසර 200ක් දක්වා දිව යයි. ජූනි 21 ඉඩම් දිනය නිම්ත්තෙන් ”ඉඩම් නොමැති අයට ඉඩම්” මැයෙන් කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය උදෙසා වූ ව්‍යාපාරය අද (21) හැටන් නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. මේ සඳහා නුවර එළිය දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ අතර ජනතාවගේ ඉඩම් අයිතිය උදෙසා වූ ව්‍යාපාරය ඇතුළු කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් අරගල කරන සංවිධාන ගණනාවක් මේ සඳහා සහභාගී වුණා.
මේ පිළිබඳව What News වෙත අදහස් දක්වමින් කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය උදෙසා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු ගනේෂලිංගම් මහතා කියා සිටියේ කඳුකර ජනතාව මේ රටේ සංවර්ධනය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දුන්නද තවමත් ඔවුන්ට නිසි පිළිගැනීමක් ලැබී නොමැති බවයි. මේ රටේ ආර්ථිකයට විදේශ විනිමය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන මලයහ ජනතාවට හැඳුනුම්පතක් තිබුණ ද ලිපිනයක් නොමැති බව ඔහු සඳහන් කළා. ඉන් අදහස් වන්නේ අන් කවරක් නොව පුරවැසියන් ලෙස නාමිකව සැලකුවද, සැබෑ පුරවැසියන් ලෙස නොසලකන පිරිසක් බවයි. කඳුකර ජනතාව ලංකාවට පැමිණ වසර 200කට අධික කාලයක් ගත වී ඇතත් ඔවුන්ට මේ ආකාරයේ වූ වෙනස් කොට සැලකීම කිසිදු ලෙසකින් අනුමත කළ හැකි නොවේ. මන්ද යත් ඔවුන් මේ රටේ සමස්ත ජනතාව ජීවත් කිරීමට දායකත්වය දෙමින් සහ රට සංවර්ධනය කරා ගෙන ගියද කඳුකරයේ සංවර්ධනය සහ කඳුකර ජනතාවගේ සංවර්ධනය පිළිබඳව සිතීමට සෑම රජයක්ම අසමත් වී ඇත.
ගනේෂලිංගම් මහතා සඳහන් කරන ආකාරයට කඳුකරයට පිටින් පැමිණි පිරිස් විසින් කඳුකර ඉඩම් අල්ලාගෙන තමන්ගේ නමට ලියාපදිංචි කරගෙන ජීවත් වේ. නමුත් පරම්පරා 5කට ආසන්න කාලයක් මේ රටේ ආර්ථිකයේ ජීවනාලිය ලෙස කටයුතු කරන ජනතාවට ඉඩමක් ලබා ගැනීමට අරගල කිරීමට සිදු වී ඇත.
වසර ගණනාවක් තිස්සේ කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු ගැටළු සම්බන්ධව කෙතෙක් හඬ නැගුවද, රටේ ප්‍රතිපත්ති සකස් කරන්නන් මේ පිළිබඳව නෑසෙන සේ සිටී. ඉඩම් අයිතිය යනු අනෙකුත් සියලු අයිතීන් සඳහා සහ ගෞරවනීය සමාජ ජිවිතයක් උදෙසා වන මූලික අවශ්‍යතාවයකි. කඳුකරයේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් ගත කිරීම, ඔවුන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම, රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සහ සාමකාමී සහජීවනයෙන් යුත් ශ්‍ර ී ලාංකික ජාතියක් ලෙස ගොඩනැගීම සඳහා ඉඩම් අයිතිවාසිකම් සහතික කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය විසින් දේශපාලන නියෝජිතයින්, වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ රජයේ ව්‍යුහයන්ගෙන් ඉල්ලා සිටී.
අද දින ඔවුන් විසින් 4 වන ඉඩම් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් එළි දැක්වූ අතර එහි සඳහන් ප්‍රධාන ඉල්ලීම් පහත සඳහන් වේ.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නොමැති සියලුම ප්‍රජාවන්ගේ ඉඩම් අයිතිවාසිකම් සහතික කිරීම.
- බහුජාතික සමාගම්වලට දිගු කලක් අත්පත් කරගෙන සිටි ඉඩම් විකිණීම තහනම් කර රටේ ජනතාවගේ ජීවිත සහ ජීවනෝපාය සඳහා ඉඩම් අයිතිවාසිකම් සහතික කිරීම.
- මලයග ජනතාවට ගෞරවනීය ජීවිතයක් සහතික කිරීම සඳහා ප්‍රමාණවත් නිවාස ඉදිකිරීම සඳහා නීත්‍යානුකූල හිමිකමක් සහිත සුදුසු ඉඩම්වලින් අවම වශයෙන් පරචස් 20 ක් ලබා දීම (Adequate house).
- රටේ ක්‍රියාත්මක වන අනෙකුත් ඉඩම් නීතිවලට අනුකූලව වතුකරයේ ඉදිකරන ලද තනි නිවාස සඳහා සම්පූර්ණ හිමිකම් ඔප්පු ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීම.
- ආහාර ස්වෛරීභාවය සහතික කිරීම සඳහා මලයග ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කළ හැකි කුඩා වතු හිමිකාරිත්ව ව්‍යුහයක් නිර්මාණය කිරීම.
- මලයග ජනතාවගේ අනන්‍යතාවය, භාෂාව, කලාව, සංස්කෘතිය, ආගම සහ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ඉඩම් අයිතිවාසිකම් සහතික කිරීම.
- මලයග ජනතාවට රජය විසින් සපයනු ලබන කෘෂිකාර්මික සහනාධාර, කුඩා ව්‍යාපාර ව්‍යවසායකත්වය සහ ස්වයං රැකියා ආධාර යෝජනා ක්‍රම කිසිදු බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි වන පරිදි පූර්ණ ඉඩම් අයිතිය සහතික කිරීම.
- වතු ජනතාව ජීවත් වන ප්‍රදේශ වතු අංශයෙන් වෙන් කර ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, පළාත් පාලන ආයතනවල පාලනයට යටත් වන බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ව්‍යුහය යටතේ පූර්ණ රජයේ සේවාවන් ලබා ගන්නා බවත් සහතික කිරීම.
- රජයේ ජාතික ඉඩම් වැඩසටහන තුළ වතු ජනතාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම අපි දැඩි ලෙස හෙළා දකිමු.
- ජනාධිපතිවරයා පොරොන්දු වූ හැටන් ප්‍රකාශනයට අනුව වතු ජනතාව සඳහා ඉඩම් අයිතිවාසිකම්, වැටුප් සහ අනෙකුත් කරුණු ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීම අවශ්‍ය වේ.
- වතු ප්‍රදේශවල දක්නට ලැබෙන ජල මූලාශ්‍ර, වනාන්තර සහ පරිසරය ආරක්ෂා කිරීමේ අයිතිය එහි ජනතාවට ලබා දීම සඳහා යාන්ත්‍රණයක් සහතික කිරීම.
- ස්වාභාවික විපත්වලින් පීඩාවට පත්ව තාවකාලික ස්ථානවල ජීවත් වන පවුල්වලට සහ ස්වාභාවික විපත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ස්ථානවල ජීවත් වන පවුල්වලට වහාම සුදුසු නිවාස පහසුකම් ලබා දිය යුතුය.
- ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු අතර ඉඩම් නිදහස් කර ප්‍රතිලාභීන්ට ස්ථිරවම භාර දිය යුතුය.
මේ සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ මලයග ශිෂ්‍ය සංගමය, පෝඩයිස් තරුණ සංවිධානය, මලයග අරසියල් අරංගම්, චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ යන සංවිධාන ඇතුළු සංවිධාන ගණනවක් තම සහයෝගය පල කරමින් උද්ගෝෂණය ශක්තිමත් කරන ලදී.
උද්ඝෝෂණය අතරතුර ජාතික ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි පැමිණි අතර උක්ත ගැටළු විසඳීම සඳහා කටයුතු කිරීමට ඔහු පොරොන්දු විය. එසේම ප්‍රාදේශීය සංවර්ධන හා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් වලදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟ විය. නමුත් ජනතාව ඒ මොහොතේ කියා සිටියේ මෙම ගැටළුව ප්‍රාදේශීය ගැටළුවක් නොව ජාතික ගැටළුවක් ලෙස සලකා සමස්ත මලයග ජනතාවටම ඉඩම් අයිතිය තහවුරු කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.
