ජිමුත් ඉඳුසර රත්නායක
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මඟින් වරදකරුවන් වූ පුද්ගලයින්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇති බව හා මෙම බලය විනිවිද පෙනෙන, ක්‍රියාපටිපාටියට අනුව අධිකරණ පූර්වාදර්ශයට අනුකූල වන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කරන නීතීඥ සංගමය හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපති විසින් පවරන ලද (SC/FR 221/2021) නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, සමාව දීමේ බලය ක්‍රියාත්මක කිරීම අධිකරණ සමාලෝචනයට යටත් බව තහවුරු කරන බව එම ලිපිය මගින් තවදුරටත් පැහැදිලි කරමින් නිසි ක්‍රියාවලිය අඩපණ වී ඇති විට ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව ප්‍රකාශ කර සිටිනවා.
වරදකරුවෙකු වූ එම සිරකරු නිදහස් කිරීම සම්බන්ධ සිද්ධිය ආයතනික වශයෙන් සිදුවන අක්‍රමිකතා, පරිපාලන අධිකාරිය අනිසි ලෙස තම බලය භාවිතා කිරීම සහ බන්ධනාගාර බලධාරීන්ගේ අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇති බවත්, ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලි වන ආකාරයට එවැනි සමාව දීමක් ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් ලබා දී නොමැති බවත්, එවැනි අනවසර ක්‍රියාමාර්ග හරහා පද්ධතියේ ක්‍රියා පටිපාටිය බිඳවැටීමක් පිළිබිඹු කරන බවත් දක්වමින් ඒ පිළිබඳ කණස්සල්ල පළ කර සිටිනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනපති වෙත ප්‍රධාන වශයෙන් ඉල්ලීම් දෙකක් ලිපිය හරහා ඉදිරිපත් කර ඇත.
එහි සඳහන්වන පරිදි,
- සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.
- ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.
එම ඉල්ලීම් ද්විත්වයි.
නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එම ලිපිය හරහා නීතීඥ සංගමය දන්වා සිටිනවා.

දූෂිතයන් දූෂිත බව දැන දැනත් , ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට නීතියක් නැතිද? මුදල් සඳහා ම පෙනී සිටියාට කමක් නැත.