අපට උපාධිය මුදලට විකුණන්න! හරිනිලාගේ නිදහස් අධ්‍යාපන තීන්දුවකට එරෙහිව මුදල් ඇති සිසුන් පිරිසකගෙන් පෙත්සමක්!

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය මුදලට නොවිකිණීමට ගෙන ඇති තීරණය වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින්, මුදල් ගෙවා උපාධිය ලබාගැනීමේ ශක්‍යතාව ඇති සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස මුදල් වියදම් කිරීමේ හැකියාවක් ඇති සිසු සිසුවියන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු ආණ්ඩුවේ නායක නායිකාවන් රැසක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලයක් තර්ක විතර්ක කරමින් විරෝධතාවල පවා යෙදුණු අතර, කොතලාවල වෛද්‍ය උපාධිය මුදලට අලෙවි නොකිරීමට ගත් තීන්දුව එම ප්‍රවණතා මත ගත් තීන්දුවක්.

පෙත්සම්කරුවන් කියා සිටියේ, තමන් 2025 /26 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය මුදල් ගෙවා හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවයි.

2024 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා මෙම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම් දී තිබූ අතර ඒ අනුව තමන්ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවන් සඳහන් කළා.

මේ අතර ඉකුත් දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ සුදුසුකම් මත තෝරාගත් ශිෂ්‍ය භට නිලධාරීන් ලෙස බඳවාගන්නා සිසුන් හැර දේශීය සිසුන් බදවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කර තිබූ බව පෙත්සම්කරුවන් පවසනවා. ඒ අනුව රජය වෛද්‍ය උපාධි විකිණීම නැවැත්වීමට තීන්දු කළා.

ඉන් අනතුරුව ඉකුත් 22 වනදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෙබ් අඩවිය තුලින් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බදවා නොගන්නා බවට දැනුම් දීමක් සිදුකර තිබූ බවත් ඔවුන් චෝදනා කළා.

මේ තුළින් අදාළ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි තමන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Author

1 Comment

  • Banning and request for banning may be mainly due to pure jealousy of local MBBAs.

Comments are closed.

Related Posts