හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම ගැන CCTV දර්ශන පරික්ෂාවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය පවසනවා.

පොලීසය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් අදාළ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරන බවයි.

ඊයේ (17) රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී තුසිත හල්ලොලුව මහතා ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ඒ වන විට එහි ගමන් කරමින් සිට ඇත්තේ හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතායි.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් ජීප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කළ බව ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව තමන්ට පහරදී තමන් සතුව තිබූ ලිපි ගොනුවක්ද රැගෙන නානඳුන පුද්ගලයින් පලාගිය බව හල්ලොලුව මහතා දුන් ප්‍රකාශයේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසනවා.

මෙම සිදුවීමෙන් සුළු තුවාල ලැබූ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කළා.

පැමිණි අය ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද කෙටේරියකින් වැනි යමකින් පහරදී ඇති බව පොලීසිය නිරීක්ෂණය කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසට භාරදී තිබෙනවා.

මේ අතර, 2017  – 2019 සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදෙස් රටක මුදල් ආයෝජනයක් කර ඇතැයි ඉකුත් මැයි දෙවැනිදා ඔහු සිදුකළ ප්‍රකාශයක් මතභේදයට තුඩුදුන්නා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත තුසිත හල්ලොලුව මහතා කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව මැයි 15 වැනිදා පියවර ගෙන තිබුණා.

Author

1 Comment

Comments are closed.

Related Posts