හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්.
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කැඳවා තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී මෙලෙස පැමිණීමට නියමිතයි.
අල්ලස් කොමිසම සඳහන් කළේ, සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවේ පෙනී නොසිටියහොත්, පනතේ 126 වැනි වගන්තිය අනුව කටයුතු කරන බවයි.

126. (1) මෙම පනත යටතේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී කොමිෂන් සභාවේ, අධ්යක්ෂ ජනරාල්වරයාගේ හෝ එහි නිලධාරීන්ගේ ඕනෑම නීත්‍යානුකූල ඉල්ලීමක්, දැන්වීමක්, නියෝගයක්, මඟ පෙන්වීමක් හෝ ඉල්ලීමකට අනුකූල වීමට සාධාරණ නිදහසට කරුණක් නොමැතිව අපොහොසත් වන හෝ නොසලකා හරින පුද්ගලයෙකු වරදක් කරන අතර, මහේස්ත්රාත්වරයෙකු ඉදිරියේ සාරාංශ නඩු විභාගයකින් පසු වරදකරු වූ පසු, රුපියල් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා දැඩි සිර දඬුවමකට යටත් විය යුතුය.
(2) (1) වන උපවගන්තිය යටතේ වරදක් සඳහා නඩු පැවරීමක් කොමිසම විසින් තීරණය කරනු ලබන මහේස්ත්‍රාත් අධිකරණයක ස්ථාපිත කළ හැකිය.