ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසනවා.
අප සහොදර වෙබ් අඩවියක් වන News19 වෙබ් අඩවියේ මාධ්‍යවේදිනී ෆාතිමා සුමෙහියා කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ, ඉකුත් 12 වැනිදා මෙම ලිපිය යැවූ බවයි.
ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කන්තලේ, මන්නාරම සහ තවත් ප්‍රදේශ කීපයක ජන හමු අමතමින් ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණයක් බව එම සංවිධාන පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමු කළ බව ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ පිළිබඳ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් ප්‍රශ්න කර තිබියදී ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. ඔහු කියා තිබුණේ මෙසේයි.
“මම කියන්නේ අපි දිනන්නේ නැති සභාවලට සල්ලි දෙන්නේ නැහැ කියලා නෙමේ.
මධ්‍යම ආණ්ඩුව හොරකම් නොකර, නාස්ති නොකර භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා. ලේසි නෑ හොඳේ
හොරකම නාස්තිය නතර කරලා, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සතිපතා රැස්වෙලා, රේගුව සතිපතා අධ්‍යනය කරමින්, මුදල් ටික භාණ්ඩාගාරයට ගේනවා, හරි පරිස්සම් කරලා සල්ලි ටික ගේනවා, ගෙනාපුවම, නුවරඑළිය නගර සභාවේ ඉන්නවා හොරු කණ්ඩායමක්, අපි අරහේ සල්ලි එකතු කරලා මෙහෙට දෙන්න ඕන ද ? මම කියන්නේ ඕක.
මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැතිනම්, නගර සභා ප්‍රාදේශීය සභා හොරකම් නොකර ඉන්න ඕන, වෙන ඇතා අය අතට ගියොත් මොකද වෙන්නේ, මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, නාස්ති කරන්නේ නැහැ, ප්‍රාදේශීය සභා හොරකම් කරනවා, නාස්ති කරනවා, මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා, ප්‍රාදේශීය සභාව කකුලෙන් අදිනවා.
මධ්‍යම ආණ්ඩුව එකතු කරන සල්ලි, දැන දැන හොරකම් කරන්න දෙන්න ඕන ද ?
අපි කියන්නේ හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා,
එයාලා කියනවා එයාලා ආවොත් දෙන්නේ නැහැලු. හරි තමයි.
හොර හිත තියෙන්නේ, හොර හිත නැත්නම් ඒක එහෙම තේරුම් ගනීවිද ?
එයාලට කියන්න තිබ්බේ එහෙම නෙමේ අපි හොරකම් කරන්නෙත් නෑ අපිට දෙන්න කියලනේ.
මතක තියාගන්න, අපිට ඕන මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා, ප්‍රාදේශීය සභාවත් වැඩ කරනවා.
මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, ප්‍රාදේශීය සභාවත් හොරකම් කරන්නේ නැහැ
මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ, ප්‍රාදේශීය සභාවත් නාස්ති කරන්නේ නැහැ
මධ්‍යම ආණ්ඩුව ජනතාව ගැන හිතනවා, ප්‍රාදේශීය සභාවත් ජනතාව ගැන හිතනවා.
එහෙමනම් දෙන්න තියෙන්නේ කාටද ? ජාතික ජන බලවේගයට. ඔච්චරයි.”
