අනුරලා කී දෙයක් ඇත්ත වෙලාද? ඉතිහාසේ වැඩිම ඩොලර් ප්‍රමාණයක් පිටරට ලාංකිකයන් එවලා!

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙනවා .

මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක්. එක මාසයක් තුළදී විදෙස්ගත ලාංකිකයන්ම වෙහෙස වී එක මාසයකදී පමණක් උපයා ඇති මෙම ආදායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාස කිහිපයකට වතාවක් ලබා දෙන ඩොලර් මිලියන 300ක මුදල වගේ දෙගුණයක් බව සිහිතබාගන්න ඕනෑ.  

මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1 වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයක්.

විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වීමට සාධක කිහිපයක් බලපානවා. විදේශ රැකියාවල යෙදෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය වැඩි වීම, එම ලාංකිකයන් බැංකු පද්ධතිය වැනි විධිමත් ක්‍රම හරහා මුදල් එවීමට පෙළඹීම, ඩොලරයේ අගය සාධාරණ මට්ටමක පවතින්නේයැයි විශ්වාසය සහ රටේ පවතින පාලනය ගැන විශ්වාසය වැඩි වීමද එලෙස ප්‍රේෂණ වැඩි වීමට හේතුපාදක විය හැකියි.

2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ආදායමක් විදෙස්ගත ලාංකිකයන් උපයා දුන්නා. එය මාසයකදී විදෙස්ගත ලාංකිකයන් එවූ වැඩිම මුදල් ප්‍රමාණය විදියට සැලකිය හැකියි. එහෙත්,  කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු ලෙස පැවති 2020 දෙසැම්බර් වකවානුව තුළ දී ඉතාලිය, කොරියාව ඇතුළු රටවල සිටි බොහෝ ලාංකිකයන් සිය රැකියාවලින් ඉවත්ව මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණා. එහිදී ඔවුන් එරට තමන් සතුව තිබුණු මුදල් තමන්ගේම පරිහරණය උදෙසා ලංකාවට එවා තිබුණා. එම නිසා කොවිඩ් වසංගත සමයේදී වැඩි වූ මාසික ප්‍රේෂණ ආදායම සාමාන්‍ය තත්වයක් ලෙස සැලකිය නොහැකියි. එය විශේෂ තත්වයකදී විශේෂ හේතු මත පැමිණි ආදායමක්. එම නිසා, මාර්තු මාසය මෙරට ඉතිහාසයේ විශේෂම ආදායම් ලැබීමක් ලෙස සැලකීමෙහි වරදක් නැහැ.

පසුගිය වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට උපයා දුන් ආදායම ඩොලර් බිලියන 6.5ක්. එතරම් ආදායමක් උපයා දුන්නද, මෙරට විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරට ඡන්ද අයිතිය පවා නැහැ.

Author

1 Comment

  • ඕව ඔය අනුරල කියපු නිසා එවපුව නෙවෙයි. අවුරුදු කන්න මිදේශික ශ්‍රමිකයො ගෙවල්පලට සල්ලි එවල.

Comments are closed.

Related Posts