ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පාලමකින් සම්බන්ධ කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝජනා කර ඇති නමුත්, ශ්‍රී ලංකා රජය ඒ සඳහා කැමැත්ත පළ කර නොමැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.
2002 වසරේදී එවකට ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර ගොඩබිම් පාලමක් යෝජනා කර තිබුණා. එය රාම සේතු හෙවත් ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන පැරණි ගොඩබිම් සම්බන්ධතාව මත පදනම් වුණා. මෙය ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැලැස්ම තුළත් අන්තර්ගත වූ අතර, 2015 ආණ්ඩුව සමයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හනුමන් පාලමක් හදන බවට විමල් වීරවංශ ඇතුළු දේශපාලනඥයන් චෝදනා කළා.
මෙම සැලසුම අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දුම්රිය සහ මහාමාර්ගයක් සහිතව සම්බන්ධ කිරීමටයි යෝජනා වී තිබුණේ. ඒ පිළිබඳ දැවැන්ත චෝදනා සහ සංවාද රැසක් පැවතුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නිකුත් කළ ඒකාබද්ධ ප්රකාශනයක පවා එම පාලම ගැන ඇතුළත් වුණ. එහෙත්, මෙවර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී හෝ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයේදී ඒකාබද්ධ ප්‍රකාශන නිකුත් කළ අවස්ථාවලදී එය ඇතුළත් වී තිබුණේ නෑ.
නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඒ පිළිබඳ යෝජනා කළත්, ශ්‍රී ලංකා රජය එයට ඍජු පිළිතුරක් ලබා නොදීම නිසා ඒ පිළිබඳ එකඟතාවක් නොමැතිව සාකච්ඡා අවසන් වී තිබෙනවා. මෙලෙසම එකඟතාවක් නොමැති තවත් විෂයක් වන්නේ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම.
මේ අතර, යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) යටතේ පමණක් ඇඟලුම් අපනයන කෝටාව මිලියන 50 දක්වා ඉහළ නැංවීමට ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට සූදානම් බව ඩේලි මිරර් පුවත්පත තවදුරටත් වාර්තා කරනවා. මෑතකදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද ප්‍රකාශ කර ඇත්තේ ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පවතින මිලියන 8 ක කෝටාව මිලියන 50 දක්වා පුළුල් කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ බව.
එට්කා ගිවිසුම පිළිබඳ යෝජනාව මේ වෙද්දී ශ්‍රී ලංකා රජය විසින් සලකා බලමින් සිටින අතර, උක්ත මිලියන 50 කෝටාව යෝජනා වී ඇත්තේද එට්කා ගිවිසුමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන කොන්දේසියක් ලෙසයි.

කාලයකට ඉහත ඉන්දියාව හා ලoකාව යා කරන පාලමක් හැදීමට යෝජනා කරලා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවේ …රාජපස්ස පවුල් රෙජිම ආන්ඩුවේ නිවාස හා ඉදිකිරීම් කැබිනට් ඇමති වෙලා හිටිය …(…කේ) දේශප්‍රේමී විමලසේනම තමයි.