තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
එහෙත් අද දින ලබා දීමට යන නියෝගය කල් දමන ලෙස ඉල්ලා දේශබන්දුගේ පාර්ශවය විසින් අධිකරණයට මෝසමක් ගොනු කර තිබෙනවා. තමා විසින්ම ගොනු කළ පෙත්සමේ තමාම හදිසියෙන් ලබා දෙන ලෙස ඉල්ලූ නියෝගය අද දිනම ලබා නොදී කල් දමන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස ඉල්ලීම සියලු පාර්ශ්වයන්ගේ සැකයට තුඩු දී තිබෙනවා.
කෙසේ වෙතත්, දිලීප පීරිස් මහතා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මීට පෙර පෙන්වා දුන්නේ, දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නඩුව පැවරීමේදී තාක්ෂණික දෝෂ කිහිපයක් සහිතව පවරා ඇති බව. ඒ අනුව, මෝසමට හේතු ලෙස සඳහන් කර ඇත්තේ එම තාක්ෂණික දෝෂ නිරාකරණය කරමින් තවත් ලියකියවිලි කිහිපයක් ඉදිරිපත් කිරීම.
මෙම පෙත්සමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය දක්වා තිබෙනවා. ඒ අනුව, දිලීප පීරිස් මහතා අද දිනයේම පෙත්සමේ තීන්දුව ලබා දෙන ලෙස ඉල්ලීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
මෝසමක් දැමීමට සැබෑ හේතුව ලෙස ආරංචිමාර්ග පවසන්නේ, මෙම නඩුව කල්දමා සමාජ මතයක් ගොඩනැගීම.
මෙයට දැන හෝ නොදැන පොලීසිය සහයෝගය දී තිබුණා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඊයේ (16) නිවේදනයක් කරමින් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙකු ද රිට් පෙත්සම් ගොනු කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත් එම මාධ්‍ය නිවේදනයෙහි දැනටමත් සියල්ලන් දැන සිටි කරුණු මිසක් කිසිදු අලුත් කරුණක් සඳහන්ව නැහැ. මෙම නිවේදනය හරහා දේශබන්දු හැර අනෙක් හයදෙනාව අත්අඩංගුවට නොගන්නා බවට සමාජ මතයක් ගොඩනැගීමට පොලීසිය කටයුතු කර තිබුණා.
ඒ අනුව මූලික විමර්ශන අවසන්වන තෙක් එම හයදෙනා අත්අඩංගුවට නොගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන අතර ඔවුන්ගේ රිට් පෙත්සම් ලබන 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා, වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති උපුල් කුමාර ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා ඉකුත් පෙබරවාරි 28 වැනිදා නියෝග කළා.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.
එවන් පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් පසුගිය 10වනදා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර දින සිට සති තුනකට ආසන්න කාලයක් ගතව තිබුණ ද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.
පොලිස් කණ්ඩායම් 06ක් ඔහු සොයා විමර්ශන සිදුකරන බවයි පැවසෙන්නේ.

හොයාගන්න බැහැ කියන්නෙ නම් ඉතිං fairy tales තමයි 😁😁😁