මාධ්‍යවේදීන් හමුවේ නිරුත්තර වු මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති පළා යයි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

සිද්ධිය වාර්තාවීමත් සමග අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී ඔහු මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් උසාවියක් ඇතුළේ මිනිස්සු මෙහෙම මැරෙද්දි කොහොම ද මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ ? විමසා සිටියා.

“ඊට අදාළ පියවර අරන් තියෙන්නේ. සියලු පුද්ගලයින් හඳුනාගෙන තියෙන්නේ. ඒකයි මේ බලන්න ආවේ” යනුවෙන් මහජන ආරක්ෂක නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවා.

කෙසේ වෙතත් මාධ්‍යෙව්දින් විසින් මෙම වෙඩිතැබිම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර මෙම ප්‍රශ්න කිරිම් හමුවේ සුනිල් වටගල මහතා නිරුත්තර වුවා.

ප්‍රශ්න කිරිම් හමුවේ ඉතා තදින් කේන්තියන වටගල මහතා දුරකථන ඇමතුමක් ගෙන කොහෙද ඉන්නේ… බූරුවෝ..කොහෙද ඉන්නේ යනුවෙන් විමසා එම පරිශ්‍රෙයන් ඉවත්ව යන අයුරු දක්නට ලැබුනා.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න ( ගණේමුල්ල සංජීව ) නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගසංජීව කුමාර සමරරත්න ඔහුට එරෙහිව විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙනවිත් තිබුණා.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලීසියේ ආරක්ෂාව මධ්‍යයේයි.

පසුව ඔහු රැගෙන ගොස් තිබුණේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළටයි.

එහි විත්තිකූඩුව තුළදීම ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරය සඳහා යොදාගත් රිවෝල්වරයද විත්ති කූඩුව අසළ දමාගොස් තිබියදී සොයාගැනුණා.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ සංජීව කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගියද කොළඹ ජාතික රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අදාළ පුද්ගලයාගේ පපු ප්‍රෙද්ශයට වෙඩිවැදී තිබූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියා.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

මේ වනවිට වෙඩි ප්‍රහාරය එල්ල කළ බව සැකකෙරෙන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

මිනිමැරුම්, කොල්ලකෑම, කප්පම් ලබාගැනීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ගණේමුල්ලේ සංජීව ඉකුත් 2023 වසරේ අත්අඩංගුවට ගැනුණේ විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදීයි.

පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Author

Related Posts