තරිඳු උඩුවරගෙදර
මම ක්‍රීඩාව ගැන ලියන්නේ අඩුවෙන් කියා සමහර වෙලාවට මට සමීප අය මැසිවිලි නගනවා. ඉතින්! මේක මගේ ක්‍රීඩා සටහනක්. ප්‍රොමිස්! මේක ක්‍රීඩාව ගැන සටහනක් විතරමයි. අතීත මතකයක්. නිදහස් දිනය වෙනුවෙන් ලියන ක්‍රීඩා සටහනක්. කොටස් කිහිපයකින් යුක්ත සටහනක්.
හැම නිදහස් දිනයකම කොන්දේසි විරහිතව මගෙ මතකයට නැගෙන සිදුවීම් පෙළක් වූ නමුත්, කිසිදා නොලියැවුණු සටහනක්.
ඒත් සමාවෙන්න! කල් තියා කියන්නම්. මේ සටහනේ ප්‍රධාන චරිත අටක් එක ක්ෂණයකින් මැරෙනවා. සිව් දෙනෙකුගේ මුහුණවත් බලන්න අපට ලැබුණේ නැහැ.

බෝම්බෙකින් මැරෙනවා. ‘ලේ පිපාසිත කුරිරු‘ ත්‍රස්ත ප්‍රහාරයකින් මැරෙනවා. ඒ පිපිරුණේ කාගේ ලේ පිපාසාවද? කාගේ කුරිරුකමද? මලින්ද අයියලාව, හල්ලල අයියලාව දැක දැක ඔවුන්ව ඉලක්කයක් ලෙස සලකා පුපුරුවාගත් කාන්තාවගේ කුරිරුකමද? නැත්නම් ඉන් එහා ගිය ඇයවත් වින්දතයෙක් බවට පත් කරන ලද රාජ්‍යයක එකිනෙකට වෙනස් සාධක ගොඩකින් නිර්මිත කුරිරුකමක්ද? පුපුරුවාගත් උතුරේ ඇයත්, පිපිරී ගිය මගේ අයියලා අට දෙනාත් හැමෝම ගොදුරු වුණේ කාගේ ලේ පිපාසයටද? මේ පුපුරවාගත් තරුණියට දිනුත් ප්‍රියශංක, විමුක්ති තෙවරප්පෙරුම, සුපුන් හල්ලල, රාජරත්නම් රදීෂ්වරන්, කෝලිත කුමාර, එරන්ද චතුරංග, තිවංක තිසේරා සහ මලින්ද අරුමාදුර යන මගේ අයියලාව පෙනෙන්න ඇත්තේ කවුරුන් වාගේද? උතුරේ තරුණ ජීවිතයම අහිමි වූ තමන්ට අහිමි වූ සහෝදරයන් වාගේද? තුවක්කු රැගෙන නොඉල්ලූ යුද්ධයකට කොටු වී සිටින අයියලා වාගේද? මහනුවර බේස්බෝල් තරගාවලියක් අවසන් කොට සැහැල්ලුවෙන් කොටුව දුම්රියපළේ සිටි මගේ අයියලාව දුටු පසු, ඇයට ජීවිතය හා මරණය අතර උතුරේ ඇගේ ජීවිතය ඇසුරෙන් මොනවා මතක් වෙන්නට ඇතිද? ඇගේ වෛරය ආවේ කොතැනින්ද? ඇයට ආරෝපණය වුණේ කාගේ කුරිරුකමටද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු කෙසේ වෙතත්, මම මේ සිදුවීම දෙස හැරී බලන්නම්.
අන්තිමේදී, 2008 පෙබරවාරි 03 වැනිදා බෝම්බයෙන් මරණයට පත් වුණා.

හවුස් මැච්
මගේ පොරොන්දුව ක්‍රීඩා සටහනක්!
මගේ මේ කතාවේ අවසානය සනිටුහන් වෙන්නේ පෙබරවාරි 03 වැනිදා. ඒත්, ඊට සතියකට කලින්! ජනවාරි මැද ඉඳන් හවුස් මැච් පටන් ගත්තා. වීර, සූර, මෙත්ත, ශාන්ත තමයි හවුස් හතර. හල්ලල අයියා වීර හවුස් කැප්ටන්. ඒ අවුරුද්දෙ මං වීර. (මට ඉස්කෝලෙන් දුන්න හවුස් එකේ කොටු වෙන්න හිතුවෙ නෑ. එක හවුස් එකකට කොටු නොවෙන කෙනෙක් නිසා ඔය කාලෙ හිතෙන වෙලාවට හිතෙන හවුස් එකට සෙල්ලම් කරනවා. කෑම හොඳ, හෙවණ තියෙන හවුස් එකේ ස්පෝට්මීට් එක දවසට ඉන්නවා. ඒ පාර වීර හවුස් හිටියේ ගොඩක් හේතු නිසා. එක හේතුවක් තමයි හල්ලල අයියා හවුස් කැප්ටන් වීම.)
අපේ ටීම් එක හදාගෙන. එකතු කරලා ෆුට්බෝල්, වොලිබෝල් දෙකෙන් ගොඩදාලා දෙන එක තමයි අපෙ ලොකුම වගකීම වුණේ. ඊට අමතරව බේස්බෝල් සහ රග්බි ඇතුලු තව ක්‍රීඩා කිහිපයක ටීම් එකේ සයිඩ් රෝල් එකක් ප්ලේ කළා.
පාසැල් කාලයේදී ලැබෙන්න ඕනෑ අංක එකේ අත්දැකීම මා හිතන විදියට ක්‍රීඩාව. ඒක යම්කිසි පහසුකම් සහිත ඩීඑස් සේනානායක විද්‍යාලයට විතරක් නෙවෙයි, උතුරේ කොණේත් නැගෙනහිර කෙළවරේත් හැම තැනකම සිසුන්ට ලැබෙන්න ඕනෑ. අවුරුදු 18ක තරුණයින්ගෙ අතට තුවක්කුවක් නෙවෙයි පිත්තක් ලැබෙන්න ඕනෑ. නැත්නම් දෙඅත්වලට, දෙපාමුලට පන්දුවක් ලැබෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් ට්‍රැක් එකක දුවන්න, උස පනින්න හෝ කවපෙත්තක් විසි කරන්න ලැබෙන්න ඕනෑ. ඇත්තටම මේ කතාවේදී වැඩිපුරම ඕනෑ ඒ කොටස කියන්න.
වොලිබෝල් ගත්තම, ගයන්තයා ශාන්ත හවුස් එකේ. මිනිහා තනි කොල්ලෙක් වුණාට වොලිබෝල් මැසිමක්. ඩෑෂ් එක වෙඩි උණ්ඩයක් වගේ. කඩන්න නම් බෝලෙටම ෆුල් ෆෝකස් එකේ ඉන්න වෙනවා. එකපාරම නොසිතන ඈන්ගල් එකකින් එන්නේ. ගයන්තයා කොහොම උඩ පැන්නත්, කොයි විදියට ශරීරයෙන් ඉඟි කළත්, බෝලෙටම ෆෝකස් කරන්න ඕනෑ. ඒකෙදී ගයන්ත කියන්නේ, තානෝස් වගේ. අපි නිකං ඇවෙන්ජර්ස්ලා වගෙ. තනි විශිෂ්ඨයෙක්ට එරෙහිව, එච්චරම විශිෂ්ඨ නැති ටීම් එකක්.

අපි දැනන් හිටියා අපට හොඳම ටීම් එක ඉන්න බව. අපේ පුංචි මොළයට අපි ස්ට්‍රැටජිය හැදුවේ ගයන්තගෙ අභියෝගයට මූණදෙමින් ලකුණු රැස් කරන එක. අපි හවුස් වොලිබෝල් අන්ඩර් 15 ගහද්දී ඒක බලන්න හල්ලල අයියාත් ආවා. හවුස් කැප්ටන්ගෙන් විසිට් එකක්. එයා හැම තරගයක්ම බලන්න ගියා. කණ්ඩායම දිරිමත් කළා. ෆයිනල් එකේදීයි ගයන්තගේ ශාන්ත හවුස් එක අහු වුණේ. මම, මිලේන්ද්ර, කසුන්, රවිඳු ඇතුළු ටීම් එකම ගයන්තගේ ප්‍රහාරවලට මූණදුන්නා. මඟහැරෙන හැම තැනකදීම කතා කරමින් ස්ට්‍රැටජි හැදුවා. පළවැනි වටය ඉවර වෙද්දී අනෙක් පැත්තේ දුර්වල තැන් ටික හඳුනගෙන ඉවරයි. සර්ව් කරන්න ඕනෑ මෙතැනට. බෝලෙ ප්ලේස් කරන්න ඕනෑ මෙතැනට. ගයන්තව හිර වෙන්න දැල ළඟදිම බෝලය හෙමීට එහා පැත්තට තල්ලු කරන හැටි. ඔක්කොම ගාණට කමියුනිකේට් කළා. අපි දින්නා. ඇත්තටම කණ්ඩායම් හැඟීම! මෝටිවේෂන් එක!
මැච් එක ඉවර වුණාට පස්සේ හල්ලල අයියා අපව අගය කරලා, ඊළඟට ෆුට්බෝල්වලිනුත් දින්න ඕනෑ කිව්වා. ඇත්තටම ෆුට්බෝල්වලට අපට අභියෝගය තිබුණේත් ශාන්ත හවුස් එකෙන්. ඒත්, ෆුට්බෝල් හවුස් මැච් ගැහුවේ නෑ. බෝම්බය නිසා හවුස්මීට් කැන්සල් කළා. හල්ලල අයියාව ආයේ දැක්කෙ නෑ.
බේස්බෝල්
මේක ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නෙවෙයි. ඒත්, ඩීඑස් එකේ ප්‍රචලිත වෙමින් පැවති ක්‍රීඩාවක්. රණබිම රාජකීය ආදී පාසැල් කිහිපයක් බේස්බෝල් අතිදක්ෂයන් විදියට හිටියා. කොහොම නමුත්, එකල විදුහල්පති අශෝක සේනානි හේවගේට බේස්බෝල් උනන්දුවක් තිබුණේලු. අසා තියෙන විදියට තිසර පෙරේරාව මුලින්ම බේස්බෝල් තරගයකදී දැකලා ක්‍රිකට්වලට යන්නැයි යෝජනා කළේත් හේවගේලු.
දවසක් හැන්දෑවක හොස්ටල් එකේ සියලු සිසුන් හිටපු මීටින් එකකදී හොස්ටල් බාර සර් කිව්වා, බේස්බෝල් පුහුණුකරු මලින්ද අරුමාදුරගෙන් ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවාය කියලා බේස්බෝල් සිලෙක්ෂන් සෙෂන් එකකට හොස්ටල් ළමයින්ව එවන්න කියලා.
ඇත්තටම බේස්බෝල්වල රහස තියෙන්නේ බැට් කිරීමෙහි නෙවෙයි. ත්‍රෝ එකේ සහ කැච් එකේ. මුලින්ම බලන්නේ කොච්චර ශක්තිමත් සහ ඉලක්කයෙන් යුත් පන්දුව යොමු කිරීමක් තියෙනවාද කියන එක. දෙවැනියට පන්දුව කැච් කිරීමේ හැකියාව කොපමණද කියන එක. අන්තිමට ගත්තාම මේක බෝලය හතර අතේ විසි කිරීමට සිදුවෙන ක්‍රීඩාවක්. හොඳම විසි කරන්නා පිචර් වෙනවා. හොඳම ග්‍රහණය කරන්නා කැචර් වෙනවා.
බේස්බෝල්වල බෝල වර්ග දෙකයි. සොෆ්ට් බෝල් එක සහ හාඩ් බෝල් එක. සොෆ්ට් බෝල් එකම තදයි ක්‍රිකට් බෝලය තරමට. වේගෙන් එන පාරක් ඇඟේ වැදුණොත් ඉතින්.
ඒ නිසා මලින්ද අයියා කණ්ඩායම සිලෙක්ට් කරද්දී ළමයින් පෝළිමට සිටවා තමන්ගේ පපුවට පන්දුව එවන්නැයි ඉල්ලුවා. බේස්බෝල් ගැන අහද්දී, ඒක ඉස්සර ආකර්ෂණීය ක්‍රීඩාවක් වුණේ නෑ. ඒත්, අපි පෝළිමේ හිටන් මලින්ද අයියට බෝලෙ පිච් කරන අතරේ මලින්ද අයියා බේස්බෝල් ගැන කතන්දර අපට පිච් කරන්න ගත්තා. ක්‍රීඩාවට ආස හිතෙන විදියට ඒ ගැන කතා කරන්න ගත්තා. මලින්ද අයියා පොඩි ක්‍රියාකාරකම් කිහිපයක් ඇතුළත හැමෝගෙම දක්ෂතා හඳුනගත්තා. මගේ යාළුවා මිලේන්ද්ර කියන්නේ කැචර්. ඒ වගේම එයා අවුට්ෆීල්ඩ් එකේ විශේෂයි. තව කෙනෙක් ෆ්රස්ට් බේස්. තවත් කෙනෙක් සකන්ඩ් බේස්. මේ සියලු පොසිෂන්වල විශේෂතා අපට කියා දුන්නා.
බේස්බෝල් පුදුම ලස්සන ක්‍රීඩාවක් වුණා. අනෙක මලින්ද අයියා කැප්ටන්ව තෝරපු විදිය. එයා ටීම් එක එකතු කරලා ඉන්දුවා. ඉන්දවලා අපට කිව්වා, දැන් අපි ටූනමන්ට්වලට යනවා. කැප්ටන් කෙනෙක් ඕනෑ. ඔයාලා එකතුවෙලා මට කියන්න කවුද කැප්ටන් කියලා. ටීම් එකේ අයගෙ ඡන්දෙන් කැප්ටන් කවිඳුව තේරුවා.
ඊට පස්සේ එයා අපව අරගෙන ගියා ප්‍රැක්ටිස් මැච් එකකට. දුර්වල ආනන්ද ටීම් එකත් එක්ක. එයා හොඳ ටීම් එක මුලින් දැම්මෙ නෑ. අපි වගේ ගොබ්බයන්ව තමයි මුලින්ම දැම්මේ. ඒ වෙද්දී අපට අතිවිශිෂ්ඨ කැචර් කෙනෙක් සහ පිචර් කෙනෙක් හිටියා. ඒ දෙන්නම එළියේ. පළවැනි වටේදී ලකුණු 18ට දෙකක් විතර. අන්තිම ඉනිම දක්වාම දැවැන්ත පරාජයක් මැද්දේ ගියාට පස්සේ අපව අයින් කරලා පළවැනි නවදෙනාව මැච් එකට දැම්මා. මට මතකයි ඇතුළේ මැච් එක යන අතරේ මලින්ද අයියා හොඳම ටීම් එකත් එක්ක ඉඳගෙන මැච් එකේ අඩුපාඩු කතා කරගෙන හිටියා. ෆ්රස්ට් ටීම් එක දැම්මා. ඉතාම කෙටි කාලයක් ඇතුළේ අර බේස් ඔක්කොම ගැහුවා. නෙළුවා නෙළිල්ලක් දුවන්න. හැබැයි, මැච් එක සම්පූර්ණයෙන් ඉවර වුණාට පස්සේ මලින්ද අයියා මීටින් එක අරගෙන ටීම් එකේ විශිෂ්ඨත්වය අගය කරනවා වෙනුවට පොඩි කෝටු කෑල්ලක් අරගෙන විහිළුවට වගේ, රිදෙන්නැතිවෙන්න පස්සවල්වලට ගහ ගහා අඩුපාඩු පෙන්නුවා.
මලින්දගෙ ෆවුන්ඩේෂන් එක මත අපේ බේස්බෝල් ටීම් එක බිහිවුණා. ආ! මට බේස්බෝල් බෑ. මම බේස්බෝල්වලට ඇබ්බැහි වුණේ මලින්දගේ ලීඩර්ෂිප් එක, ස්ට්‍රැටජීස්, එයා ක්‍රීඩාව හුදෙක් ක්‍රීඩාවකට එහා ගිය ජීවන හුස්මක් විදියට අපට කාවද්දපු විදිය වගේම එතැන තිබුණු ෆන් කල්චර් එක නිසා. ඇත්තටම බේස්බෝල් ටීම් එකට ලැබුණ පහසුකමක් නෑ. ප්‍රැක්ටිස් කරන්න ග්‍රවුන්ඩ් එකවත් දුන්නේ නෑ. බේස්බෝල් ප්රැක්ටිස්වලට ලොකු ඉඩක් ඕනෑ. ඒත්, මලින්ද අයියා වෙන කවුරුත් නැති වෙලාවල් බුක් කර කර ප්‍රැක්ටිස් කර කර ටීම් එක හැදුව. ඒත් ඇත්තටම මගෙ ක්‍රීඩාව වුණේ පාපන්දු. මට මලින්ද කිව්වා, ‘මල්ලි මමත් ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්. ඔයාගෙ ක්‍රීඩාව ෆුට්බෝල්. කවදාවත් බේස්බෝල් ප්‍රැක්ටිස් නිසා ෆුට්බෝල් මිස් කරන්න එපා‘ කියලා. ඇත්තටම අද දක්වාම මට පාපන්දු පිටියක පසුපස කෙළවරේ ඩිෆෙන්ස් ක්‍රීඩකයෙකු විදියට හිටගන්න මොහොතක තරම් පරිපූර්ණ සුපර්මෑන් වර්ගයේ හැඟීමක් වෙන කිසිම දෙයකින් ලැබිලා නෑ. මලින්ද අයියා ළමයි එක්ක ක්‍රීඩා කළේ ඒ ශක්තිය ගොඩනගන්න. අපව ගොඩනගන්න.
ඉතින්! ඒ මලින්ද අයියා ඇතුළු ටීම් එක ආදි ඩී.ඇස්. ක්ලබ් එකත් එක්ක තමයි මහනුවර ගියේ. ඒ ගිය ගමන ගැන අපි දැනගෙන හිටියා. ඒත්, ඒකේ ප්‍රතිඵලය දැනගෙන හිටියේ නෑ. මම මෙතැන හල්ලල සහ මලින්ද අයියා ගැන විතරයි කිව්වේ. විමුක්ති කියන්නේ හරිම ආකර්ෂණීය කෙනෙක්. සමහරු කිව්වා, විමුක්ති මැරුණම කෙල්ලෝ ගොඩක් ඇඬුවා කියලා. ඒක නිකම් කීව කතාවක් වුණාට ඔහුගේ ආකර්ෂණය ඒ කතාව තුළ තිබුණා. කෝලිත අයියා ක්‍රිකට් ගහපු, ප්‍රකට කෙනෙක්. රදීෂ් අයියාත් ඒ කාලෙ හරි කූල්. අයිස් කැප් එකක් දාගෙන ප්රැක්ටිස්වල ඒ සෙට් එක නියම ටීම් එකක් විදියට බහිනකොට සාමූහිකත්වය ගැන පුදුම හැඟීමක් ඇති වුණා. එයාලා ඕනෑ තැනක ටීම් එකක් විදියට හිටියා. ඒ කෙමෙස්ට්‍රි එක තිබුණා. ඒ නිසාම කැපී පෙනුණා. ඒ කැපී පෙනීමම වෙන්න ඇති ඔවුන්ව ඉලක්ක කරගනිමින් බෝම්බය පුපුරුවාගන්න හේතුව වුණේ.
ඒ නිසා! එදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඔවුන් ඉලක්ක කරගනිමින් පුපුරුවාගැනීම පසුපස ක්‍රීඩා කතාවක් තිබෙනවා. මලින්ද අයියලා එදා ක්‍රීඩාව අපට කාවද්දපු විදිය ගැන කතාවක් තියෙනවා.
එදා ඔවුන්ගේ බෑග්වල තිබුණේ අපි හැමදාම සෙල්ලම් කරපු බැට්, ග්ලවුස්. මට මතකයි මම ආසම ග්ලවුස් එකත් ඒ අතරේ තිබුණා. අපි ප්‍රැක්ටිස් පටන් ගනිද්දී ලොකුම ලොකු බෑග් එකකින් එළියට දාන ග්ලවුස් පොරකාලා ගන්නවා. අපි ආසම ග්ලවුස් එක කොහොමහරි ගන්න බලනවා. මේවා බෝම්බයේදී අපේ අයියලාගේ සිරුරු කොටස් එක්ක මිශ්‍ර වුණා. මට මතකයි! නඩු භාණ්ඩ වෙලා තිබුණ ඒ බැට් සහ ග්ලවුස් ඉස්කෝලෙට ගෙනාපු විදිය. අපි ඇඬුණ තරම. ඒ බැට් එක අපි හොල්ලලා බැලුවේ, බැට් එකේ හිල්වලින් ඇතුලට ගිහින් තිබුණ චූටි යකඩ බෝල බැට් එක වනන වෙලාවලදී ඇතුළේ හෙල්ලෙනවා දැනුණ- ඇහුණ හින්දා. අපි ඒ බැට් එක මොන තරම් වනා ඇතිද? ඒ බැට් එක වනනකොට ඇතුළේ බෝම්බ කෑලිවල සද්දේ ඇසීම අපට මොන තරම් කම්පනයක් වෙන්න ඇතිද?
මිලේන්ද්ර කියන මගේ මිත්‍රයා සහ අතිවිශිෂ්ඨ ක්‍රීඩකයා මලින්ද අයියාගේ අහිමිවීමේ කම්පනය එක්ක බේස්බෝල් අත්හැරියා. මම බේස්බෝල් ප්‍රැක්ටිස් පැත්ත පළාතේ ගියේ නෑ. ඇත්තටම ගියොත් මට ක්‍රීඩාවම එපා වුණා. පාපන්දුත් ඊට ටික කාලෙකින් පස්සේ නැවැත්තුවා. ඩීඑස් එක නිවාසාන්තර ක්‍රීඩා උළෙල අවලංගු කළා.
ඉතින්! මලින්ද අයියලා ඇතුළු අට දෙනෙකුගේ මරණය ක්‍රීඩාවට සම්බන්ධ කතාවක්. ක්‍රීඩාව මොන තරම් ඒ වයසට අපට ඕනෑ වුණාද? අපට වැදගත් වුණාද? මලින්ද අයියලාගේ මරණය එක්ක ඒ ක්‍රීඩාමය පැවැත්ම අපට අහිමිවුණා.
නැවත වතාවක් කල්පනා කරලා බලද්දී! මේ බෝම්බය වැන්නකින් විතරක් නෙවෙයි. පුපුරාගිය බෝම්බ ගොඩක් වගේම හතේහත් වසරක් තිස්සේ මේ රාජ්‍ය පාලන පද්ධතියම කී දෙනෙක් දරුවන්ට ක්‍රීඩා කරමින්, කණ්ඩායම් හැඟීම් සමඟ වැඩෙන්නට ඇති නිදහස අහිමි කරන්නට ඇතිද? උතුරේ දෙමළ තරුණ තරුණියන්ට කොපමණ එය අහිමි කරන්න ඇතිද? ඒ පුපුරවාගත් තරුණියටම එය අහිමි වෙන්නට ඇති නේද?
ඉතින්! කුරිරු නැති ක්‍රීඩා පිපාසිත තරුණ පරම්පරාවක් වෙනුවෙන් මෙවර නිදහස් දිනයේදී 2008 පෙබරවාරි 03 වැනිදා කොටුව බෝම්බයෙන් මියගිය මගේ අයියලා අටදෙනාව මම මේ විදියට සිහිපත් කරනවා.


පව්…, තව කොච්චර කාලයක් ජීවත් වෙන්න තිබුණ තරුණ ජීවිතද… අද මේ වෙනකොට යුද්ධයක් රටේ නැතිවුණත් රට තියෙන්නේ නීරෝගිමත් තත්වයක නම් නෙමෙයි. යුද්ධයක් නොතිබුණ සාමකාමී දවසක තමයි පාස්කු බෝම්බයත් පිපිරුණේ… නමුත් යුක්තියක් තවම පේනතෙක් මානෙක නෑ. තම හිතවතුන්ව, නෑදෑයින්ව, පාක්ශිකයින්ව සතුටු නොකරන රජයක් කවදා නම් බිහිවේවිද මේ රටේ… ප්‍රධානම කාරණය එක එකා පස්සේ දෙකට තුනට බෙදී පස්සෙන් යන ආත්මාර්ථකාමී ජනතාවයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව තිබුණ මාද්‍ය සාකච්චාවට හිනා වෙවී සහභාගී වුණ කාලකන්නි දේශපාලුවන්ව මට අදටත් මැවී පේනවා…
මට මේ සිද්ධිය අද වාගේ මතකයි. මේ අහිංසකයින්ට මම නිවන් සුව ප්‍රාර්ථනා නොකරමි. නමුත් කිසි දිනෙක මේ පවුකාර භූමියේ නම් ඉපදෙන්න නම් එපා…!
තරිඳු උඩුවරගෙදර උඹ සිංහල කොටියෙක්.