2024 අගෝස්තු 27 Pablo Meriguet විසිනි
පරිවර්තනය: කල්ප රාජපක්ෂ
Peoples Dispatch හි පළ වූ ලිපියකි
කොමියුන වල සෘජු සහ ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදය: 2 වැනි ජාතික මහජන උපදේශනය වෙනිසියුලාවේ පැවැත්විණි.
වෙනිසියුලාවේ එක් එක් කොමියුනය සඳහා ප්‍රාදේශීය සමාජ ව්‍යාපෘති තෝරා ගැනීම සඳහා කොමියුන මැතිවරණ පවත්වනු ලැබේ. මෙම මුලපිරීම රාජ්‍යය එහි ව්‍යුහයෙන්ම පරිවර්තනය කිරීම අරමුණු කරයි.
අගෝස්තු 25 වැනිදා වෙනිසියුලාවේ නැවත මැතිවරණයක් පැවැත්විණි. කෙසේ වෙතත් එය ජනාධිපතිවරුන් වන Biden, Petro සහ Lula විසින් සඳහන් කරන ලද පරිදි ජනාධිපතිවරණයේ පුනරුච්චාරණයක් නොවීය. මෙවර මෙම කැරිබියන් රටේ කොමියුන 4,500ක් ඡන්ද පොළට ගියේ මාර්ග, විදුලිය, ක්‍රීඩා, පානීය ජලය, ගෑස්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, පරිසරය, නිෂ්පාදන ඒකක, පොදු ප්‍රවාහනය සහ තවත් බොහෝ සමාජ සංවර්ධනයට අදාළ ව්‍යාපෘති 24,000කින් යෝග්‍ය ඒවා තෝරා ගැනීමටය. මෙම මුල පිරීම්, දෙවන ජාතික මහජන උපදේශනය ලෙස හැඳින්වේ (the Second National Popular Consultation).

සෑම කොමියුනයක්ම සෑම කොමියුන කවුන්සිලයකම පවතින මහජන සභා/ අවකාශ විසින් යෝජනා කරන ලද ව්‍යාපෘති හතෙන් එකක් තෝරා ගනු ඇත. වයස අවුරුදු 15ට වැඩි සියලුම දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. මීට අමතරව, මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර නිරීක්ෂකයින් විසින් නිරීක්ෂණය කරන ලද අතර, මැතිවරණ ක්රියාවලිය ගැටළු නොමැතිව සිදු කරන ලද ඔවුහු බව ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන්, එල් මයිසාල් කොමියුනයේ (the El Maizal commune) සාමාජිකයෙකු වන කොමියුන සහ සමාජ ව්‍යාපාර අමාත්‍ය ඇන්ජල් ප්‍රාඩෝ ප්‍රකාශ කළේ “මෙම ජනතාවාදී ක්‍රියාව [මැතිවරණ දිනය අවසානයේ] පෙන්වනු ඇතැයි ජනතාවට පූර්ණ විශ්වාසයක් ඇති බවත්, සහ මේ සතියේ කොමියුන වලට [තෝරාගත් ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය කිරීමට] [ආර්ථික] සම්පත් ලැබෙනු ඇත… ලෝකයට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මෙයයි. “මෙය අපගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවරයි, ජනතාවාදී සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මුහුණුවරයි” යනුවෙන්ද ඔහු පැවසීය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය සහ කොමියුන ක්‍රමය මත පදනම් වූ වෙනිසියුලාවේ දේශපාලන-ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමේ නව අදියරක ආරම්භය සනිටුහන් කරන බැවින් වෙනිසියුලානු බලධාරීන්ට මෙන්ම දහස් සංඛ්‍යාත ප්‍රජා සාමාජිකයින්ට මෙම මැතිවරණය ඓතිහාසික වැදගත්කමක් උසුලයි.
කොමියුන ක්‍රමයක් යනු කුමක්ද?
හියුගෝ චාවේස්ගේ දෙවන ජනාධිපති ධූර කාලය තුළ කොමියුන පද්ධතිය නිර්මාණය කරන ලද අතර දේශපාලනයේ කලාපීයකරනයක්/ භෞමිකකරණයක් යෝජනා විය (a territorialization of politics was proposed). මෙම මුලපිරීම මගින් උත්සාහ කරන්නේ රට පුරා සිටින දහස් ගණන් සමාජ-නිෂ්පාදන ඒකක තම කලාපය තුළ කුමන ආකාරයේ සමාජ ව්‍යාපෘති සමුපකාර ආකාරයෙන් සිදු කළ යුතුද යන්න පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීව එකඟ වීමයි. මේ හේතුව නිසා, චාවේස් කොමියුන සහ සමාජ ව්‍යාපාර සඳහා අමාත්‍යාංශය නිර්මාණය කළේය. එහි බලාපොරොත්තුව වුයේ, රාජ්‍යයය එහි පදනමින්ම වෙනස් කිරීමේ ව්‍යුහයක් වශයෙන් ක්‍රියාත්මක වීමට මෙම ව්‍යාපෘතියට ඇති අවස්ථාව උරගා බැලීමයි.
ඇත්ත වශයෙන්ම, මෙම වර්ගයේ කලාපීය/භෞමික සංවිධානය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට විකල්පයක් ලෙසත්, තනිකරම පුද්ගල අවශ්‍යතා මත පදනම් වූ ව්‍යාපාරික සහ සමාජ මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම් වලට විකල්පයකි. ඊට සපුරා වෙනස්ව, කොමියුන ක්‍රමය එක් එක් ප්‍රදේශයේ වැසියන්ගේ තීරණ සහ අවශ්‍යතා අනුව කොමියුනය පරිවර්තනය කළ හැකි ජනතා කැමැත්තක්/ අභිලාශයක් සංවිධානය කිරීමට උත්සාහ කරයි.

මෙම සන්දර්භය තුළ, එය ප්‍රජාතන්ත්‍රවාදයේ විකල්ප ආකාරයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. විශේෂයෙන් ජනතාවාදී සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යම් ප්‍රදේශයක එම ප්‍රදේශයේ සාමාජිකයින් විසින්ම මධ්‍යම රජය විසින් මූල්‍යකරණය කළ යුතු ව්‍යාපෘති විවාදයට ලක්කොට, ඒවායේ ඉලක්ක ශක්තිමත් ලෙස සකස් කරනු ඇත. ලේකම් ප්‍රාඩෝට අනුව, ආර්ථික සම්පත් අගෝස්තු 28 බදාදා වන විට කොමියුන වලට ලැබෙනු ඇති අතර, එම ව්‍යාපෘති කොමියුන විසින්ම පරිපාලනය කරනු ලැබේ. මේ ආකාරයෙන්, යෝජිත ආකෘතිය යටතේ, බොහෝ නුතන රාජ්‍යයන් වල ක්‍රියාත්මක වන ඉහළ සිට පහලට ක්‍රියාත්මක වන රාජ්‍යය වෙනිසියුලානු රාජ්‍යය තුළ පහළ සිට ඉහළට ක්‍රියාත්මක වීමට පටන් ගනු ඇත.
