මේක බොරු ප්‍රවෘත්තියක්. ඒත්, මගේ මාධ්‍ය ජීවිතේ ලියපු වැදගත්ම ප්‍රවෘත්තියක්. හරියටම අවුරුදු පහකට කලින් මේක පළ වුණේ ඔක්තෝබර් 26 සිකුරාදා වෙළඳපොළට ආ අනිද්දා පුවත්පතේයි. ‘ආණ්ඩුව පෙරළීම මහින්ද අත්හරී‘.

එදා හවස මහින්ද රාජපක්ෂ නීතිවිරෝධී අගමැති විදියට දිවුරුම් දුන්නා.
ඒ සිදුවීම් පෙළ මගේ මාධ්‍ය ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ වගේම රටක් විදියටත් මේ කුමන්ත්‍රණය විශාල බලපෑමක් ඇති කළා.
මේක මගේ නමින් පත්තරේක ලියැවුණු දැවැන්තම ‘අසත්‍ය ප්‍රකාශය‘. මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධී ලෙසත්, කුමන්ත්‍රණකාරී ලෙසත් අගමැතිකමේ දිවුරුම් දෙමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බලය අල්ලාගැනීමක් කරද්දී මගේ ප්‍රවෘත්තිය බොරු බවට පත් කරමින්. දැන් කතාබහට ලක්වෙන ඔන්ලයින් පනත ගැන සංවාදයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මතු වූ ඉතාම වැදගත් අදහසක් තමයි ‘බොරුවක්‘ වුව සමාජයක සංවාදයක් ඇති කිරීම සඳහා වැදගත් බව. ඒ කියන්නේ බොරු පවා සමාජය තුළ පවතින්න ඕනෑ බව. මේ බොරු (බවට දවසක් ඇතුළත පත් වූ) ප්‍රවෘත්තිය මා ලියා ඇති බොහෝ සත්‍ය ප්‍රවෘත්තිවලට වඩා වැදගත්.
මට මතකයි හවස් වරුවේ ධනුෂ් රඟපාන වඩ චෙන්නායි චිත්‍රපටිය බලාගෙන පාඩුවෙ ඉන්න අතරේ, එකපාරම කෝල් එකක් ආවා මහින්ද දිවුරුම් දුන්නා නේද? කියලා. මම උත්තර දුන්නෙ ‘වෙන්න බෑ, අගමැති වෙන්න නම් බහුතරය එපායැ. මහින්දලා බහුතරය නෑ කියල පහුගිය අඟහරුවාදා සාකච්ඡාවකදී කතා වුණානෙ.‘ කියන එක. ඒ තමයි දේශපාලන ඇත්ත. ඒත්, මහින්දට බහුතරය අදාල වුණේ නෑ.
ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය- මිලිටරිමය පාලනයක් ගැන බියක් ඒ සිදුවීම පළමු මොහොතේම ඇති කළා. කෝල් ගොඩක් ආවා ‘මුං බලය තහවුරු කරන්න මොනා කරයිද දන්නෙ නෑ. හැංගියං මචං‘ කියලා.
ඇත්තටම බය දැනුණා. මම ‘බිය‘ කියන අකුරු දෙක කළු පාට පසුබිමක පෝස්ට් එකක් විදියට පළ කළේ ඒ නිසා.
ඒත් සමස්තයක් විදියට ගත්තොත් මළපැනපු අපි ‘අනේ මේ.‘ කියලා පන්නිපිටිය මචං එකට ගිහින් යාළුවන් එක්ක ප්‍රවෘත්ති බලාගෙන ඊළඟට කරන දේ ප්ලෑන් කළා. ඒ වෙද්දීත් අපි දැනගෙන හිටියා මේක ව්‍යවස්ථා විරෝධී බව. කොළඹ හැම ප්‍රධාන පක්ෂයක්ම මේක පැහැදිලි කරන්න මාධ්‍ය සාකච්ඡා පවත්වනු ඇති බවත්, ඒවාට ගිහින් මේ සිදුවීම ගැන තියුණු ලෙස ප්‍රශ්න කරන්න ඕනෑ බවත් අපි කතාබහ කරගත්තා. ඒ වෙද්දී කාර් එක අරන් ටික කාලයයි. අපි සෙට් එක ටීම් එකක් විදියට ගිහින්, ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න කරන්න ඕනෑ කියල කතා වුණා.
කොහොමහරි ඉතින්, උදේ කඩේට දාපු පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය, හවස් වෙද්දී ලොකුම බොරුව බවට පත් වෙලා. (මෙය අද පනත්වලින් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරපු සත්‍ය ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රකාශ ගැන මනා උදාහරණයක්.)
උක්ත ‘අසත්‍ය‘ ප්‍රධාන ප්‍රවෘත්තියට පාදක වුණේ, ව්‍යවස්ථානුකූලව, අයවැයේදී ආණ්ඩුව පරදවා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සති කිහිපයක් ගිය සාකච්ඡා නතර වූ බවයි. ඒ බව පොහොට්ටුවේ ප්‍රබලයන් ගණනාවක් ඉතා පැහැදිලිව අපට ප්‍රකාශ කළා. මහින්ද ඒ වෙද්දීත් තමන්ගේම වචනවලින්, ආණ්ඩු බලය අල්ලාගැනීමට තමන්ට බහුතරයක් නැති බව දැනගෙන හිටියා, ඒක සාකච්ඡාවලදී ප්‍රකාශ කළා. ඒ නිසයි මේ ප්‍රවෘත්තිය ලීවේ. ඇත්තටම මහින්ද ගිහින් පාර්ලිමේන්තු බහුතරය නැතිවම අගමැතිකමේ දිවුරුම් දේවි කියලා ඔහුගේ කණ්ඩායමේ අයත් දැනගෙන හිටියේ නෑ. ඉතින්, මම ප්‍රවෘත්ති මාධ්‍යවේදියෙකු ලෙස මූලාශ්‍ර ගණනාවක් එක්ක සාකච්ඡා කරලා, ඇත්තටම ඒ බ්‍රහස්පතින්දා (25) වෙද්දී තිබුණු සාකච්ඡාව තමයි වාර්තා කළේ. 26 වැනි සිකුරාදා හවස් වෙද්දී එ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා, හැමෝවම පුදුමයට පත් කළා. ඉතින්, ප්‍රවෘත්තිය අසත්‍ය පුවතක් වුණා.
ඕනෑම පුහුණු වූ මාධ්‍යවේදීන් අතින් මේ විදියට වැරදි ප්‍රවෘත්ති ලියැවෙන්න පුළුවන්. අන්තර්ජාලය පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සුන්ට තව මොන කතාද?
නිකම්ම අගමැතිකම විතරක් නෙවෙයි. ආයතන අත්පත් කරගැනීම් සිද්ධ වුණා. 2022 දී රූපවාහිනියට කඩාවැදුණු දානිෂ් අලීව ප්ලේන් එකේදී ඇදගෙන ආ හැටි මතක ඇති. මිනිස්සුන්ට නීතිය එහෙමයි. ඒත්, එදා රූපවාහිනියට කණ්ඩායම් එක්ක පොලු අරගෙන කඩාවැදිලා එතැන හිටපු මංගල සමරවීර වගේ අයව මරන්න හොයපු සනත් නිශාන්තලාට අද දක්වා නීතියක් අදාල නෑ. සියලු ආයතනවල, සංස්ථාවල ප්‍රධානීන්ව නිත්‍යානුකූල ක්‍රමවේදයක් නැතිව චණ්ඩිකමින් එළවා නීතියට පිටින් බලහත්කාරයෙන්ම පොහොට්ටු අයව ලොකු පුටුවල ඉන්දුවා.
එදා මහින්දගේ දේශපාලනික මතය වුණේ, ආණ්ඩුවේ සහ ආයතනවල බලය කොහොමහරි ඇල්ලුවොත්, ඊට පස්සේ ඉබේම බහුතරය හැදේවි කියලයි. මොකද ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා සම්පූර්ණයෙන්ම වගේ හිටියේ මහින්දට.
ඒ සඳහා සල්ලි විසි කරන්නත් පුළුවන් කියලයි. මෙතැනින් පස්සේ අනිද්දා වාර්තාකරණය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් සිදු වූවක්. ඊළඟ සතියේ අනිද්දා කළු කලාපයක් පළ කළා. ‘කුමන්ත්‍රණය පරාජය කළ යුතුය‘ කියන කතුවැකිය පත්තරේ මුල් පිටුවේ ප්‍රධාන කතාව විදියට ගත්තා. පත්තරය විදියට අපි මහින්දව අගමැති විදියට හැඳින්වුවේත් නෑ, ඒ කැබිනට් එක පිළිගත්තේත් නෑ. ඒ වගේම ඒ නීතිවිරෝධී ආණ්ඩුව ‘ආණ්ඩුව‘ විදියට හැඳින්වුවේත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙනතුරුම නීතිවිරෝධී ආණ්ඩුවට එරෙහිව ලීවා.
අන්තිමේ ඒ ආණ්ඩුව ගෙදර ගියා. එදා ‘රනිල් වික්‍රමසිංහ‘ රැකගැනීමේ පටු වුවමනාවෙන් පමණක් වැඩ කරපු අයත් හිටියා. ඒත්, අපට අවශ්‍ය වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රීය පාලන වටිනාකම් රැක ගන්න.
ඒ වගේම මේ බොරු ප්‍රවෘත්තිය අපේ මාධ්‍ය ජීවිතය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කළා. එදා පත්තරේ සිකුරාදා කඩේට ආවාම, ඊළඟ සිකුරාදා දක්වාම මේ ගැන හරි පැහැදිලි කිරීමක් කරන්න මාධ්‍යයක් අපට තිබුණේ නෑ. ඒ වගේම සියලු මාධ්‍ය ආණ්ඩුවට කඩේ යද්දී, මේක කුමන්ත්‍රණයක්ය, ව්‍යවස්ථාවේ ඇත්තටම තියෙන්නේ මෙන්න මෙහෙමය, මේක පරාජය කළ යුත්තේ ඇයිද? ඇත්තටම දේශපාලනයේ මොකද වෙන්නේ කියන කරුණු කියන්න අපට අධිවේගී මාධ්‍යයක් තිබුණේ නෑ. ඒවා ඊළඟ සිකුරාදා පත්තරෙයන් ලියනතුරු හිටියොත් පෙරහැර ගිහිල්ලා ඉවරයි. පත්තර කලාවේ සීමාව ඒකයි. අන්න ඒ නිසයි ඒ වෙද්දීත් අත්හදා බැලීමක් විදියට පටන් අරන් තිබුණු යූටියුබ් චැනල් එක පාවිච්චි කරලා, කුමන්ත්‍රණය ගැන වීඩියෝ කිහිපයක් දාන්න අපි තීන්දු කළේ. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය නොකී දෙයක් කීව අපේ ඒ වීඩියෝ වයිරල් යද්දී, නිශ්චිතව ‘Satahan Radio’ ආරම්භ වුණා. මේ කුමන්ත්‍රණය නැත්නම් ඒ් චැනල් එක දියත් නොවී, අපේ පොඩි අත්හදා බැලීමක් කියන තැනින් නතර වෙන්නත් ඉඩ තිබුණා.
ඇත්තටම, දින 52 ආණ්ඩුව පාලකයන්ට පළවැනි වතාවට පාඩමක් ඉගැන්නුවා. පැති ගණනාවකින් රටේ ජනතා දේශපාලනයේ ප්‍රගමනයට එම ඓතිහාසික මොහොත වැදගත් එකතු කිරීම් කළා.
පුංචි නමුත් වැදගත් සංසිද්ධිය් ගත්තොත් ඉතාම ප්‍රබල සහ වෛවර්ණ සමකාමී-සංක්‍රාන්ති සමාජභාවී කණ්ඩායම්වල විරෝධතාවන් සඳහා පාදක කෙරුණා. ඔවුන් කමියුනිටි එකක් විදියට මහජන දේශපාලනයේ පෙරමුණට ආවා. අතිශය ප්‍රබල කාන්තා පාගමනක් අපි දැක්කා.
ජඩමාධ්‍යයට එරෙහි අදහස ප්‍රබල ලෙස මතු වුණේ ඒ කාලයේ සිද්ධ වුණ දේවල් එක්ක. ඇත්තටම සියලු ප්‍රධාන මාධ්‍ය මහින්දව අගමැති කරන්න වළි කද්දී, සමාජ මාධ්‍යවලින් සහ විකල්ප මාධ්‍යවලින් එයට වෙනස් වූ සැබෑ තත්වය එළියට ආවා. සමාජ මාධ්‍ය තමයි මේ කුමන්ත්‍රණයේ හෙළුව එළි කළේ. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය තුළ සමාජ මාධ්‍ය නම් වූ අවියෙහි ප්‍රබලතාව මනාව පෙන්වූ අවස්ථාවක් බවට ඒක පත් වුණා.
ඒ විතරක් නෙවෙයි, ඓතිහාසික නඩු විභාගයකට දායක වෙමින් එදා නීතිඥ සමාජයත් අධිකරණය තුළ කළ හැකි වෙනස්කම් ගැන මනා උදාහරණ දුන්නා. ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් වගේම නීතිඥ හෙජාස් හිස්බුල්ලා දක්වා කණ්ඩායම් ඉතාම තියුණු අධිකරණ සටනක් කරමින් කුමන්ත්‍රණය අධිකරණය තුළදී පරාජය කෙරුණා. ඒ අනුව පළවැනි වතාවට ‘ෆුල් ඩිස්ප්ලේ‘ එකක ජනතාව දැක්කා අධිකරණය ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන්න තියෙන ශක්‍යතාව.
මුදලට මන්ත්‍රීවරුන්ගේ ආත්මය විකුණන හැටි ප්‍රසිද්ධියේ දකින්න ලැබුණු සංදර්ශනය ඒක. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගසා ගනිමින් දේශපාලනඥයන්ගේ පාලන ක්‍රමය ගැන අවසාන සහතිකයත් ඒ කාලසීමාව තුළ ජනතාවට ලැබුණා.
එයින් පසු පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් ජනතාව ගෝඨාභයව බලයට ගෙනා බව ඇත්ත. (ජනතාව ඒ වරද වසර තුනක් යද්දී නිවැරදි කළේ තවත් ඓතිහාසික මොහොතක් අරගලය තුළින් උදා කරමින්.) ඒත්, 2018 කුමන්ත්‍රණ උත්සාහයත්, එයට එරෙහිව සිද්ධ වූ ජනතා හඬ අවදි කිරීමුත් ජඩ දේශපාලනයකට එරෙහි පුළුල් ක්‍රියාකාරීත්වයක් වුණා.
හැබැයි 2018 කුමන්ත්‍රණයට එරෙහි නැගිටීමේ තව අතුරු ස්වභාවයක් තමයි, ඒකේ පෙරමුණ ගත්තේ මෙරට මධ්‍යම පාන්තික, ලිබරල් සිවිල් සමාජය වීම. 2022 අරගලය තුළදී සහ ඉන් පසු එම මධ්‍යම පන්තියෙන් එහා සාමාන්‍ය, පීඩිත පොදු ජනතාව මුල් තැන ගත් බවක් පෙනුණා. (අරගලයේදී මුදල් ආධාර ලැබුණේ මධ්‍යම පන්තියෙන් වුණත්, පෙරමුණේ සටන් කළේ පීඩිත මිනිස්සු.) 2018 ජන නැගිටීම බොහෝ විට කොළඹ තිබුණු (යූඇන්පී එකෙත් ආධාර ලැබුණ) අට්ටාලයක්, දෙතුන්සීය සහභාගී වූ නොනවතින විරෝධතා මාලාවක් ආදියෙන් සමන්විත වුණා. එදා ‘ව්‍යවස්ථාව‘ වෙනුවෙන් නැගිට්ට සමහරුන්, අද රනිල්ව රකින බවත් එහි දිගුවක්. අප හිතන ආකාරයට ‘පුරවැසි දේශපාලනය‘ නියෝජනය කරමින් 2018 කුමන්ත්‍රණය වෙලාවේ වැඩ කරපු ඇතැම් චරිත පසු කරමින් ඊට පසු කාලයේදී නව දේශපාලන චරිත, කණ්ඩායම් මතු වුණා. අද ඒක පුරවැසි දේශපාලනය කියන වචනයට වඩා ‘බහුජන දේශපාලනය‘ කියන යෙදුමට ගැලපෙන එකක්.
කෙසේ නමුත් 2018 කුමන්ත්‍රණයට එරෙහි ජන නැගිටීමත්, 2022 අරගලයත් එකිනෙකට ආත්මීයව සම්බන්ධයි. මේ දෙකම මනාව පෙන්වන්නේ දේශපාලනය යනු ඡන්දවලට ඉදිරිපත් වීම, ඡන්ද කැම්පේන් කිරීම, පක්ෂ පසුපස යෑම, කාව හෝ බලයට පත් කරනතුරු බලා හිඳීම පමණක් නොවන විත්තිය. කිසිම පක්ෂයකට හේත්තු නොවූ ජනතා දේශපාලනයක් 2018 කුමන්ත්‍රණය දිනවලදී මනාව දකින්න ලැබුණා. ඒ වගේම නීතිවිරෝධීව පත් වූ ආණ්ඩුවක් මැතිවරණයක් නොමැතිවම නැවත (අල්ලාගත්) බලයෙන් පහ කළා.
අප යළි යළිත් මතකයේ තබාගත යුත්තේ ජනතා දේශපාලනයේ වැදගත්කම. ජනතාව එක පොදියට හයියට එකතු වීමත්, අධිකරණය, ජනමාධ්‍ය සහ විරෝධතා ආදී නොයෙකුත් උපක්‍රම ජනතාවගේ බලය අභ්‍යාස කිරීමට පාවිච්චි කිරීමත් අප රටක් විදියට සිහියේ තබාගත යුතුයි.
ඡන්දයක් එනතුරු බලා ඉඳලා අහවලාට ඡන්දය දෙන්නම් කියා අක්‍රිය වීම ජනතාවට තරම් නැහැ. ලංකාවෙ ජනතාවට තරම් නෑ. හරියටම අවුරුදු 5කට කලින් සිදු වූ උක්ත කුමන්ත්‍රණය කියා පාන්නේ ඒ බව.