Saturday, December 2

ඇමෙරිකාව නං, ඊශ්‍රායල් පැත්ත ගන්නෙ මේ නිසා! – නෝම් චොම්ස්කි කී කතාව

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ඊශ්‍රායලයේ ආරම්භයේ සිට මේ දක්වා ඔවුන්ට සහයෝගය දක්වමින් සිටී. එයට පාදක වූ හේතු රාශියක් ඇත. එක පැත්තකින් මිලිටරිමය වශයෙන් ඊශ්‍රායලයට සහයෝගය දෙයි. අනෙක් පැත්තෙන් මානව හිමිකම් සහ ලෝක නීතියට අදාල එක්සත් ජාතීන්ගේ ආයතනවලදී ඊශ්‍රායලය ආරක්ෂා කරයි. එයින් එහාට ගොස්, ලොව පුරා ජනමාධ්‍ය පාවිච්චි කරමින් ඊශ්‍රායලයට සහයෝගය දක්වන මතවාද ගොඩනගයි. මේ එන්නේ, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහයෝගය දක්වන්නේ ඇයිදැයි පැහැදිලි කරමින්, නෝම් චොම්ස්කිගේ 2008 දී සිදු කළ අදහස් දැක්වීමකි.

Avram Noam Chomsky is an American linguist, philosopher, cognitive scientist, logician, historian, political critic, and activist.  © Graeme Robertson / eyevine Contact eyevine for more information about using this image: T: +44 (0) 20 8709 8709 E: info@eyevine.com  http:///www.eyevine.com

ඇයි ඇමෙරිකාව ඊශ්‍රායලයට සහයෝගය දෙන්නේ? ඒකට ඉතිහාසයක් තියෙනවා. අපූර්ව ඉතිහාසයක්. ඒක ඇත්තටම බොහෝ ඈත අතීතයට යනවා.

එක් දෙයක් මතක තියාගන්න. ක්‍රිස්තියානු සියොන්වාදය (සියොන්වාදයට අදාලව මෙම සටහනට ගැලපෙන කෙටි හැඳින්වීම වන්නේ- එය බටහිර ක්‍රිස්තියානි සහ යුදෙව් සමාජයන් තුළින් ආගමික පදනමක් මත ‘නිජබිම්වලට‘ ගොස් ජනාවාස පිහිටුවීමේ අදහස පෙරදැරිව  බිහි වූ මතවාදයක් යන්නය.) බොහෝම බලගතු ප්‍රවාහයක්. එය යුදෙව් සියොන්වාදයට වඩා බොහෝ පරණයි. බ්‍රිතාන්‍ය සුපිරි බලවතුන් අතර එය අතිශය ප්‍රකට භාවිතාවක් වුණා. එය බැල්ෆෝ ප්‍රකාශනය සඳහා බලගතු අභිප්‍රේරණයක් වුණා. ඒ වගේම බ්‍රිතාන්‍යයන් ඊශ්‍රායලයේ යුදෙව් ජනපදකරණයට සහයෝගය පළ කිරීම සඳහා හේතු වුණා. මතක තබාගන්න, බයිබලය මෙසේ කීවා කියන එක ප්‍රධාන හේතුවක්. බයිබලය බ්‍රිතාන්‍ය ප්‍රභූ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වුණා. ඇමෙරිකාවේත් එහෙමයි. වුඩ්රො විල්සන් දිනපතා බයිබලය කියවූ ක්‍රිස්තියානුවෙක්. හැරී ටෘමන් පවා එහෙමයි. රූස්වල්ට් පාලනය යටතේ එක් ප්‍රධාන නිලධාරියෙක් වන හැරල්ඩ් අයික්ස් යුදෙව්වන් පලස්තීනයට නැවත යෑම ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම සිදුවීම ලෙස විස්තර කළා. එය බයිබලයේ පාඩම් යථාර්තවත් වීමක් විදියට හැඳින්වුවා.

මේවා ගැඹුරින් ආගමික රටවල්. බයිබලයේ පාඨ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සලකන්නන්. අනෙක් පැත්තෙන් මෙය සරලවම යටත් විජිතකරණයේ කොටසක්. යුරෝපීය යටත් විජිතකරණයේ අවසාන අදියරක් මේ. ඊශ්‍රායලයට ඉතා දැඩිව සහයෝගය දක්වන රට හුදෙක් ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් නෙවෙයි. ඕස්ට්‍රේලියාව, කැනඩාව ඒ අතර සිටිනවා. මේවා පදිංචිකාර යටත් විජිතකරණයෙන් බිහි වූ සමාජයන්. ඒ කියන්නේ, උදාහරණයක් විදියට පදිංචිකාර යටත්විජිතකණය, බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ යටත්විජිතකරණය කළා වාගේ නෙවෙයි. දේශීය ජනතාව සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කළ ඒවා. ඒ වගේම ආගමික මූලධර්මවලින් පෝෂණය වූ යටත්විජිත. මේවා ක්‍රිස්තියානු සියොන්වාදයෙන් පෝෂිත දැඩි ආගමික මතධාරීන් විසින් මෙහෙයවූ ක්‍රියාවලීන්. මේවා ප්‍රධාන සංස්කෘතික සාධක.

මීට අමතරව ඉතාම ප්‍රබල ගෝලීය භූ මූලෝපායික සාධක තිබෙනවා. ඔබට 1948 දක්වා යා හැකියි. ඒ කාලයේ ඇමෙරිකාවේ පෙන්ටගනය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව අතර බෙදීමක් පැවතුණා. ඊශ්‍රායලයට දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳව. රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා- හරියට කීවොත් සම්පූර්ණයෙන් ඊශ්‍රායල් රාජ්‍ය බිහි කිරීමට සහ ජනපදකරණයට පූර්ණ වශයෙන් දායක වුණේ නෑ. එමෙන්ම සරණාගතයන් ගැන සැලකිල්ලක් දැක්වුවා. ඔවුන්ට සරණාගතයන්ගේ ප්‍රශ්නයට විසඳුම් අවශ්‍ය වුණා.

එහෙත් පෙන්ටගනය ඊශ්‍රායලයේ මිලිටරි හැකියාවන් ගැන ලොකුවට බලාපොරොත්තු තැබුවා. ඊශ්‍රායල් මිලිටරි වාර්තා ගැන. ප්‍රසිද්ධ කරන ලද අභ්‍යන්තර රහස් ලිපිගොනු දෙස හැරී බලන විට, පෙන්ටගනයේ සම- කාර්ය මණ්ඩල ප්‍රධානීන් විස්තර කර තිබුණේ තුර්කියට පමණක් දෙවැනි වන එම කලාපයේ දෙවැනි බලගතුම මිලිටරිය ඊශ්‍රායලය සතු බව. කලාපයේ එක්සත් ජනපද බලය තහවුරු කිරීමේ ප්‍රධාන බලකණුවක් වනු ඇති බව. එය දිගින් දිගටම එසේයි. මට සියලු අභ්‍යන්තර වාර්තා ගැන කියන්න බැහැ, එහෙත් 1958 දී කලාපයේ බලගතු අර්බුදයක් පැවති මොහොතක, ඊශ්‍රායලය පමණයි බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව සඳහා සහයෝගය දැක්වූ එම කලාපයේ එකම රට. ඒ හේතුව නිසා එම රටවල්වලින් මිලිටරි සහයෝගය සහ මුදල් ආධාර විශාල වශයෙන් ලැබුණා. 1967 දී (ඒ කියන්නෙ) ඊශ්‍රායලය සමග දැන් බටහිර රටවලට පවතින (සමීප) සබඳතා හොඳින් ස්ථාපිත වුණාට පසු, අනාගමික- අරාබි ජාතිකවාදය විනාශ කරමින් ඇමෙරිකාවට ඊශ්‍රායලය ලොකු උදව්වක්  කළා. (දැන් අරාබි රටවල් බොහොමයක් ඉස්ලාම් ආගම මත දැඩිව පදනම් වූ සංවිධාන වුණත්, එකල අරාබි ජාතිකවාදය ආගමික පදනම ප්‍රතික්ෂේප කළ එකකි. එහෙත්, රැඩිකල් ඉස්ලාම් මතවාදවලට පෝෂණය වෙන්නට සරු පස සකසමින්- එම දේශපාලන ව්‍යාපාර දුර්වල කිරීමට ඇමෙරිකාව වගකිව යුතුය.) අනාගමික- අරාබි ජාතිකවාදය ඇමෙරිකාවේ ප්‍රබලම සතුරෙක් වී සිටියා. රැඩිකල් ඉස්ලාම් ව්‍යාපාරවලට සහයෝගය දෙන්නට එය හේතු වුණා.

මේ සම්බන්ධය අද දක්වාම පවතිනවා. මෑතකදී (චොම්ස්කි මෙම අදහස පළ කළ කාලයේ) ගාසා තීරයේ පහරදීම්වලදී ඊශ්‍රායලය සතු පතොරම් ආදිය අවසන් වුණා. ඇමෙරිකාව වහාම ඒවා සැපයුවා.

එමෙන්ම ඇමෙරිකානු හමුදා හදිසියේ ඊශ්‍රායලයේ සහයෝගයට පැමිණියහොත් පාවිච්චි කරන්නට, අවි ආයුධ පෙර සූදානම් කර ඊශ්‍රායලයේ පවත්වාගෙන යනවා. එයින්ම පැහැදිලි වෙනවා එක්සත් ජනපදයේ මිලිටරි බලයේ දිගුවක් ලෙස ඊශ්‍රායලය පවතින බව. ඊට අමතරව ඉතා සමීප බුද්ධි අංශ සම්බන්ධතා පවතිනවා.

එමෙන්ම මාධ්‍යවලින් කිසිදු ප්‍රශ්න කිරීමක් නැතිවම වාගේ මාධ්‍ය ඊශ්‍රාලයේ පැත්ත ගන්නවා.

මාධ්‍ය ගැන කතා කරන විට වෙනත් සිදුවීමකින් උදාහරණයක් ගනිමු. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළ මොහොතේ මාධ්‍ය හැසිරීම ගත හැකියි. ඔබට ඇමෙරිකානු මාධ්‍ය තුළ ‘ඉරාකය ආක්‍රමණය‘ කියන වචනය දකින්න බෑ. එය පැහැදිලිවම අශෝභන පන්නයේ ආක්‍රමණයක්. නියුරම්බර්ග් නඩු විභාගයේදී කී පරිදි ඉහළම මට්ටමේ ජාත්‍යන්තර අපරාධයක්. එහෙත්, එලෙස හැඳින්වීමට නොහැකි වුණා.

ඔබාමා කීවේ එය වැරදීමක් බව. අත්වැරදුණු උපක්‍රමයක් බව. එයින් ගැලවෙන්න බැරි බව. එහෙත්, මෙවැනිම නිදහසට කරුණු තමයි හිට්ලර් විසින් රුසියාව ආක්‍රමණය කළ පසු ඔහු යටතේ සිටි අය කීවේත්. එය අත්වැරදීමක්, නොකර ඉන්න තිබුණා ආදී වශයෙන්.

ඇමෙරිකාව වියට්නාමය ආක්‍රමණය කිරීම ගැනත් එහෙම තමයි. ඔබ උත්සාහ කරන්න, ඇමෙරිකාවේ දකුණු වියට්නාම ආක්‍රමණය කියන වචනය 1961 සිට ලියැවී තිබෙනවාද බලන්න. එවැන්නක් නැහැ. සමහරවිට ඩිමොක්‍රසි නව් එකේ ඇති.

මෙය ඇමෙරිකාවට සීමා වී නෑ. බ්‍රිතාන්‍යය දෙස බලන්න. ටයිම්ස් සාහිත්‍ය අතිරේකය වැනි සාහිත්‍යමය ජර්නල්වල ඉතාම සිත් ගන්නාසුළු විවාද පවතිනවා, බ්‍රිතාන්‍යය දැන්වත් අවුරුදු සිය ගණනකට කලින් සිදු වූ ‘බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයේ සංහාරමය ස්වරූපය‘ කියන අදහස පාවිචචි කළ යුතුද? කියන එක ගැන. බ්‍රිතාන්‍ය එයට මුහුණදෙන්න ඕනෑද කියන එක ගැන.

ඔබට බොහෝ කාරණා ගැන මේ ප්‍රශ්නය අහන්න පුළුවන්. විද්වත් සමාජය පට්ටි ගැසෙමින් රාජ්‍ය බලයට, පෞද්ගලික බලය පසුපස යන විදිය නොතකා ඉන්න බැරි තරම් ප්‍රබලයි. විද්වතුන් තමන්ව සලකන්න කැමති ස්වාධීන, විචාරශීලී, බලයට එරෙහිව නැගී සිටින, ධෛර්යය සම්පන්න පිරිසක් විදියට. ඒක සම්පූර්ණයෙන් බොරු.

ඉතිහාසය දෙස හැරී බලන විට ප්‍රධාන ධාරාවේ ‘ස්වාධීන‘ ඔළුගෙඩි ගණනාවක් රාජ්‍ය බලයට සහයෝගය දෙමින් පෙළපාලියේ යනවා. ඊශ්‍රායල සිදුවීමේදී මේක අලුත් දෙයක් නෙවෙයි. අවාසනාවට අපට එයට එරෙහිව සටන් කරන්න සිද්ධ වෙනවා. එහෙත්, මේක අලුත් දෙයක් නෙවෙයි.

Author

%d bloggers like this: