සිසු, ධීවර, ගොවි, ව්‍යාපාරික හැමෝටම ණය ක්‍රම! අයවැය 2027 යෝජනාවෙන් ඔබටත් ණයක් ලැබෙයිද?

ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවතින ව්‍යාපාරවල වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට වැඩි අවස්ථාවන් උදාකර දෙන බව කියමින්, 2027 ජාතික අයවැය මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ගොවීන්, තරුණ ව්‍යවසායකයින්, කාන්තාවන්, අස්වැසුම ප්‍රතිලාභීන් සහ උසස් අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී තිබේ.

2027 පුරවැසි අයවැය වාර්තාවට අනුව ආර්ථික සේවා සහ ව්‍යවසායකත්ව අංශය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 162ක සමස්ත මුදලින් රුපියල් බිලියන 71.46ක්ම (ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 67.9ක් සහ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 3.5ක්) වෙන් කර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහාය.

මෙවර අයවැය මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන ණය යෝජනා ක්‍රම පහත පරිදි වේ:

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන: මාස 120ක (වසර 10ක) නැවත ගෙවීමේ කාල සීමාවකට යටත්ව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා උපරිමය රුපියල් මිලියන 75ක් දක්වා ආයෝජන සහ ඒකාබද්ධ ණය පහසුකම් ලබා දෙන අතර, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 17.2ක් වෙන් කර ඇත.
  • ව්‍යවසායක අංශය පුනර්ජීවනය කිරීමේ සහ අක්‍රිය ණය කාණ්ඩයේ ව්‍යාපාර නඟාසිටුවීමේ ණය ක්‍රමය: මේ සඳහා රුපියල් බිලියන 30.0ක දැවැන්ත මුදලක් වෙන් කර තිබේ. මේ යටතේ 5%ක සහන පොලී අනුපාතිකයක් සහ මාස 120ක ආපසු ගෙවීමේ කාල සීමාවක් සහිතව රුපියල් මිලියන 25ක උපරිමයක් දක්වා ආයෝජන සහ ඒකාබද්ධ ණය පහසුකම් හිමිවේ. එමෙන්ම, අක්‍රිය ණය කාණ්ඩයේ පසුවන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහාද 5%ක පොලී අනුපාතිකයක් යටතේ මාස 60ක ආපසු ගෙවීමේ කාල සීමාවක් සහිතව රුපියල් මිලියන 15ක උපරිමයක් දක්වා ආයෝජන සහ ඒකාබද්ධ ණය ලබා දීමට සැලසුම් කර ඇත.
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය: 6%ක පොලී අනුපාතිකයක් යටතේ මාස 120ක නැවත ගෙවීමේ කාල සීමාවක් සහිතව රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා ආයෝජන, කාරක ප්‍රාග්ධන සහ ඒකාබද්ධ ණය පහසුකම් ලබා දීම සඳහා රුපියල් බිලියන 5.9ක් වෙන් කර තිබේ.
  • කෘෂිකාර්මික අගය දාම සංවර්ධන ණය ක්‍රමය: තේ, රබර්, කුළුබඩු, තෙල්, උද්‍යාන වගා, ජලජීවී වගාව, මත්ස්‍ය සැකසුම්, කිරි නිෂ්පාදන හා සත්ත්ව ආහාර නිෂ්පාදනයේ නියැළෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රුපියල් මිලියන 75ක උපරිම ණය සීමාවකට යටත්ව ආයෝජන, කාරක ප්‍රාග්ධන සහ ඒකාබද්ධ ණය ලබා දීමට රුපියල් බිලියන 7.1ක් වෙන් කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අමතරව ගොවීන්, තරුණයින්, කාන්තාවන්, අස්වැසුම පවුල් සහ සිසුන් වෙනුවෙන්ද විශේෂ ණය යෝජනා ක්‍රම සහ මූල්‍යාධාර රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබේ:

  • ගොවීන් සඳහා නව විස්තීර්ණ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය: වී ඇතුළු බෝග වර්ග 35ක් වගා කරන ගොවීන් සඳහා 5%ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 3.0ක උපරිමයක් දක්වා කාරක ප්‍රාග්ධන ණය ලබා දීමට රුපියල් බිලියන 2.9ක් වෙන් කර ඇත.
  • තරුණ ව්‍යවසායකයන් සහ NVQ සුදුසුකම් ලත් සිසුන් සඳහා ණය: කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්තවල නියැළෙන තරුණ ව්‍යවසායකයන්ට 4%ක ඉතා අඩු පොලී අනුපාතිකයක් සහ මාස 60ක ආපසු ගෙවීමේ කාලයක් යටතේ රුපියල් මිලියන 5ක උපරිමයක් දක්වා ණය ලබා දීමට රුපියල් බිලියන 1.1ක් වෙන් කර තිබේ. මීට අමතරව, NVQ සුදුසුකම් ලත් සිසුන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ණය පහසුකම් සැලසීමට රුපියල් බිලියන 0.2ක් වෙන් කර ඇත.
  • කාන්තා ව්‍යවසායකත්ව ප්‍රදාන: ලියාපදිංචි කාන්තා සංගම්වල සාමාජිකාවන්ට පවතින ව්‍යාපාරයක් දියුණු කර ගැනීමට හෝ නව ජීවනෝපායක් ඇරඹීමට රුපියල් 250,000ක උපරිමයකට යටත්ව ප්‍රදාන ලබා දීමටත්, එම පවුල්වල NVQ 3 හෝ ඊට ඉහළ සුදුසුකම් සහිත දරුවන්ට නව ව්‍යාපාර ඇරඹීමට සහාය වීමටත් රුපියල් බිලියන 0.4ක් වෙන් කර තිබේ.
  • අස්වැසුම පවුල් සවිබල ගැන්වීමේ ණය පොලී සහන සහ ආධාර: 2027 වසරේදී අස්වැසුම පවුල් 200,000ක් සවිබල ගැන්වීම සඳහා රුපියල් බිලියන 5.0ක් වෙන් කර ඇත. ඒ යටතේ එම පවුල් ව්‍යාපාර කටයුතු සඳහා සමෘද්ධි බැංකුවලින් ලබාගන්නා රුපියල් 500,000ක් දක්වා වූ ණය සඳහා අය කෙරෙන 6%ක පොලී අනුපාතයෙන් 4%ක කොටසක් රජය මඟින් ගෙවනු ලබයි. ඊට අමතරව ව්‍යාපාර ඇරඹීමට හෝ දියුණු කිරීමට රුපියල් 150,000ක් දක්වා ද්‍රව්‍යමය හා සේවාමය ආධාරත්, වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු ලෙස රුපියල් 150,000ක් දක්වා මුදලකුත් හිමිවේ. තවද, තවත් අස්වැසුම පවුල් 10,575ක් සඳහා ව්‍යාපාර පුහුණුව, උපදේශන සේවා සහ රුපියල් 150,000ක උපරිමයකට යටත්ව ව්‍යාපාර ප්‍රදාන ලබා දීමට රුපියල් බිලියන 1.33ක් වෙන් කර ඇත.
  • උසස් අධ්‍යාපන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය: ව්‍යාපාරික ණයවලට අමතරව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා සලසා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය වෙනුවෙන්ද මෙවර අයවැයෙන් රුපියල් බිලියන 3.5ක මුදලක් වෙන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts