ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට 2027දී රුපියල් බිලියන 26.5ක ආයෝජනයක්

2025 පෙබරවාරි සහ 2026 ඔක්තෝබර් මාසවල සිදුවූ ජාතික විදුලි පද්ධතියේ බිඳවැටීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ජාතික විදුලි ජාල පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමට 2027 වසරේදී රුපියල් බිලියන 26.5ක ආයෝජනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා 2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ වන විට මෙරට ස්ථාපිත විදුලි උත්පාදන ධාරිතාවයෙන් සියයට 62ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සමන්විත වන බවත්, 2029 වසර වන විට එම ප්‍රතිශතය සියයට 69ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්තිය ඉහළ ප්‍රතිශතයකින් ජාතික විදුලි පද්ධතියට එක්වන අවස්ථාවලදී ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ද නව තාක්ෂණික පහසුකම් හඳුන්වා දීමට නියමිතය.

ඒ අනුව, ලෝක බැංකු මූල්‍ය පහසුකම් යටතේ හබරණ සහ මන්නාරම ප්‍රදේශවල මෙගා වෝල්ට් ඇම්පියර් 75 බැගින් වූ සංවෘත ධාරිත්‍රක දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම පාදුක්ක 220kV ජාල උපපොළෙහි මෙගාවෝල්ට් 300ක ධාරිතාවයකින් යුත් ටැප් කොම් පහසුකම් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ද 2027 වසරේදී ආරම්භ කර 2029 වසරේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ජාතික විදුලි පද්ධතියේ ඇතිවිය හැකි අස්ථාවර තත්ත්වයන් කල්තියා හඳුනාගෙන ඒ සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් පුළුල් ප්‍රාදේශීය නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ ලෝක බැංකු තාක්ෂණික සහාය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර, දහවල් කාලයේදී නිපදවන අතිරික්ත විදුලිය ගබඩා කිරීමේ අරමුණින් බැටරි බලශක්ති ගබඩා ධාරිතාව 2027 වසර වන විට මෙගාවොට් 560ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.

එම ධාරිතාව 2029 වසර වන විට මෙගාවොට් 1,245ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts