මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුවේ මෙතෙක් චෝදනා ගොනු කිරීමට සහ විමර්ශනවල ප්‍රගතියක් අත්කර ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා අධිකරණය අද (03) නියෝග කළා.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සිදුවීම සම්බන්ධයෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවී තිබියදීත් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සහ විමර්ශනවල ප්‍රගතියක් අත්කර ගැනීමට පොලිසිය මෙතෙක් අසමත් වී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්නයි.
එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හංසක වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අද දිනයේ නඩුව අවසන් වරට කැඳවූ බවයි.
එමෙන්ම සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකළහොත් ඔවුන් අදාළ නඩුවෙන් මුදාහැරීමට පියවර ගන්නා බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වාදුන්නා.
2023 ජූලි 28 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ පැවති වෘත්තීය සමිති විරෝධතාවක් වාර්තා කරමින් සිටියදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසිය එම අවස්ථාවේදී සඳහන් කර තිබුණේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.
එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කළ නඩුවට පසුව වෙනත් උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව සහ නයනා රංජනී යන අයද සැකකරුවන් ලෙස නම් කර නඩුවට ඇතුළත් කර තිබුණා.
ඔවුන් දෙදෙනාද අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියා.
කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 2023 ජූලි 29 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.
මේ අතර අදාළ අත්අඩංගුවට ගැනීම සහ පොලිස් භාරයේදී පහරදීම සම්බන්ධයෙන් තරිඳු උඩුවරගෙදර විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
කෙසේවෙතත් මෙතෙක් කාලයක් ගතවී තිබියදීත් අදාළ නඩුවේ චෝදනා ගොනු කිරීම සහ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අද අධිකරණය අවධානය යොමු කරමින් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
