පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (ඔක්තෝබර් 29) නඩු පවරා තිබේ.
අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදී ලාෆ්ස් ගෑස් සමාගමට සිතාසි නිකුත් කර නඩුව යළි නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියම කර තිබේ.
මේ අතර, මාසයකට ආසන්න කාලයක් වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින අතර, මේ වන විට තම සමාගම සතුව අලෙවි කිරීමට එකදු ගෑස් සිලින්ඩරයක් හෝ නොමැති බව ලාෆ්ස් ගෑස් පාරිභෝගික සේවා මධ්යස්ථානය ප්රකාශ කර ඇතැයි වාර්තා වේ.
මෙරට තුළ මාසයකට ලාෆ්ස් ගෑස් සිලින්ඩර් ලක්ෂ හතරහමාරක් පමණ අලෙවි වන බවත්, ඇණවුම් කර ඇති ගෑස් නෞකා මෙරටට පැමිණෙන දිනයක් මෙතෙක් නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බවත් සමාගම සඳහන් කර ඇත.
සාමාන්යයෙන් මාසයකට ගෑස් මෙට්රික් ටොන් 32,000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කළ ද, ඉහළ ගොස් ඇති ඉල්ලුම සපුරාලීම සඳහා මේ වන විට මෙට්රික් ටොන් 40,000ක් දක්වා ගෑස් නිකුත් කිරීමට සිදුව ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ‘අරුණ’ පුවත්පතට ප්රකාශ කර තිබේ.
මේ අතර හම්බන්තොට ජාත්යන්තර වරායේ පිහිටි LAUGFS Gas PLC සමාගමට අනුබද්ධිත LAUGFS Terminals Limited සමාගමේ සම්පුර්ණ කොටස් අයිතිය හෝ ඉන් කොටසක් වෙනත් පාර්ශ්වයකට පැවරීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යොමු කරමින් මීට දින කිහිපයකට පෙර සඳහන් කර තිබිණි.
එම සාකච්ඡා තුළින් වාණිජ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම LAUGFS Terminals Limited සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් කොටසක් හෝ සම්පූර්ණ හිමිකාරිත්වය විකිණීමේ හැකියාව ද සලකා බලමින් සිටින බව සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.
