සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් මානව හිමිකම් උල්ලංඝනය වීමේ බරපතල අවදානමක් – Human Rights Watch

ශ්‍රී ලංකා රජය විසින් පසුගිය ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (Prevention of Organised Crimes Bill) මගින් පුද්ගලයන් හිතුමනාපයට අත්අඩංගුවට ගැනීම, දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීම, වධහිංසා පැමිණවීම සහ මූලික මානව හිමිකම් උල්ලංඝනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව Human Rights Watch සංවිධානය නිවේදනය කරයි.

ඔක්තෝබර් 6 වන දින ඉදිරිපත් කෙරුණු ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සමඟින්, මෙම යෝජිත නීතිය මගින්ද පවතින අසාධාරණ ත්‍රස්තවාද විරෝධී නීතිවල ඇති මර්දනකාරී වගන්ති නැවත ප්‍රතිනිර්මාණය කර ඇති බවත්, එමගින් අවසන් කිරීමට රජය ලබා දුන් පොරොන්දු කඩවීමේ තත්ත්වයක් නිර්මාණය වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික ජන බලවේගය 2024 මැතිවරණ ප්‍රකාශනය හරහා ජනතාවට පොරොන්දු වූයේ රටේ සියලු “මර්දනකාරී” නීති අහෝසි කර ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කරන බවයි. විශේෂයෙන්ම, කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට රජය ලබා දුන් පොරොන්දුව පසෙකලා, ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් දෙකෙන්ම PTA හි දරුණුතම වගන්ති වෙනත් මුහුණුවරකින් සහ සාමාන්‍ය අපරාධ නීතියට බාහිරව සමාන්තර නීතිමය ව්‍යුහයන් ලෙස ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව එම සංවිධානය පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයේ ආසියානු අධ්‍යක්ෂිකා ඉලේන් පියර්සන් මහත්මිය මෙසේ පවසා තිබේ.

“ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත මගින් ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් හෝ අපරාධ පිළිබඳ සාක්ෂිවලින් තොරව දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමට ඉඩ සලසනවා. එමෙන්ම, පොලිසිය හමුවේ කරනු ලබන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ දීමෙන් වධහිංසා පැමිණවීම දිරිමත් වෙනවා. මෙම නීතිය වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, මීට පෙර පැවති දරුණු නීති මෙන්ම බරපතල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතිනවා.”

පනත් කෙටුම්පතේ ඇති බරපතල ගැටලු සහ අවදානම්

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් පෙන්වා දෙනු ලබන ප්‍රධාන ගැටලු කිහිපයක් වේ.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අර්ථ දැක්වීමේ අවදානම: යම් පුද්ගලයෙකුගේ ඇඳුම් පැළඳුම් විලාසය, අත් සලකුණු, පච්ච කොටා තිබීම, භාෂාව, හෝ යම් ස්ථානවලට යාම්-ඊම් මත පදනම්ව ඔවුන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස සැලකීමට අධිකරණයට ඉඩ සලසා ඇත. මෙය අපරාධකාරී ක්‍රියාවකට වඩා පුද්ගලික ආශ්‍රය අපරාධයක් බවට පත් කිරීමක් ලෙස හඳුන්වා දී ඇත.

දීර්ඝ කාලීන රැඳවුම් නියෝග: මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් වසරක් දක්වා රැඳවුම් නියෝග නිකුත් කිරීමට බලය පැවරෙන අතර, එම නියෝගය ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට නිසි බලයක් නොමැත. ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණි.

පොලිසිය හමුවේ කෙරෙන පාපොච්චාරණ: පොලිස් භාරයේදී ලබා ගන්නා පාපොච්චාරණ අධිකරණයේදී සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ දීම මගින් සැකකරුවන්ට වධහිංසා පැමිණවීම සහ බලපෑම් කිරීම් නැවත ඉහළ යා හැක.

පුළුල් නිරීක්ෂණ සහ පෞද්ගලිකත්වයට තර්ජන: අධිකරණ නියෝග සහිතව මෙන්ම ඇතැම් අවස්ථාවලදී අධිකරණ නියෝගයකින් තොරවද දුරකථන, චන්ද්‍රිකා සහ ඩිජිටල් සේවා සපයන්නන්ගෙන් තොරතුරු ලබා ගැනීමට පොලිසියට බලය පැවරේ. මෙය පුද්ගලිකත්වයට සහ රැස්වීමේ අයිතියට එල්ල වන බරපතල තර්ජනයකි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වීම: අපරාධයකින් වින්දිතයෙකු වූ අයෙකුගේ අන්‍යතාවය හෙළිදරව් කිරීම හෝ අධිකරණ අවසරයකින් තොරව නඩු කටයුතු මාධ්‍ය මගින් වාර්තා කිරීම සීමා කිරීමට අදාළ වගන්ති පනතට ඇතුළත් වේ.

වරෙන්තු නොමැතිව සෙවීම් සහ අත්අඩංගුවට ගැනීම්: “සාධාරණ සැකය” මත පදනම්ව වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන්, වාහන හෝ පරිශ්‍රයන් පරික්ෂා කිරීමටත්, දේපළ අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට අධික බලතල හිමිවේ.

GSP+ තීරුබදු සහනය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම යනු යුරෝපීය සංගමයේ GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීමේදී රජය විසින් එකඟ වූ ප්‍රධාන කොන්දේසියකි. කෙසේ වෙතත්, මෙම නව පනත් කෙටුම්පත මගින් එම කොන්දේසි තවදුරටත් උල්ලංඝනය වන බවත්, මෙම නීතිය GSP+ වෙළඳ සහන සඳහා අදාළ මානව හිමිකම් කොන්දේසිවලට අනුකූල නොවන බව යුරෝපීය සංගමය විසින් ශ්‍රී ලංකාවට පැහැදිලි කළ යුතු බවත් ඉලේන් පියර්සන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පනත් කෙටුම්පත ඉවත් කරගෙන, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව සහ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් යුතුව විනිවිදභාවයෙන් යුතු නව නීති සම්පාදනයකට යොමු වන ලෙස මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

Author

Leave a Reply

Related Posts