සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක් කටා රැඳවුම් නියෝගවලින් මුදා හැරීම සඳහා රුපියල් කෝටි ගණනාවක් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ඇමති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් හා මෝටර් රථ කිහිපයක් තහනම් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම තහනම් කිරීම සිදුකර ඇති අතර ඒ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් හා සුඛෝපභෝගී මොටර් රථ දෙකක් සම්බන්ධයෙන්ය.
අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ නීතිය යටතේ මෙම බැංකු ගිණුම් හා දේපල තහනම් කර ඇතැයි වාර්තාවන අතර එම දේපල හා බැංකු ගිණුම් තහනම් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් රාජගිරියේ පිහිටි රඛිත රාජපක්ෂගේ නිවසට ගියද ඔහු එහි සිට නැත.
හරක් කටා රැඳවුම් භාරයෙන් මුදාහැර ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා හරක් කටාගේ බිරිඳගෙන් අල්ලස් ඉල්ලා ඉන් කොටසක් ලබාගැනීම සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ, සජබ හිටපු සංවිධායක චරිත් අබේසිංහ හා තවත් අයෙක් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් කිරීමෙන් පසු මේ වනවිට ඇපමත මුදාහැර තිබේ.
