ත්රෛනිකායික මහා නාහිමිවරුන්ගේද මැදිහත්වීම යටතේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව පිරිනමා පවතින අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා පැවැත්වූ සත්යග්රහය ත්රෛනිකායික මහා නාහිමිවරුන්ගේ දැනුම්දීමට අනුව මේ වන විට තාවකාලිකව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
හිටපු අග්රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට උපරිම සිර දඬුවම් කාලය මාස 18ක් වන බවත් එම වරදට ඥානසාර හිමියන් මේ වන විටත් මාස 10කට අධික කාලයක් බන්ධනාගාරගතව සිට ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පෙන්වාදෙනවා.
මීට පෙරද මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදීමට පියවර ගත් බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂය එම නිවේදනය මගින් සඳහන් කරන්නේ, ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේද ජනාධිපති සමාවක් යළි උන්වහන්සේ වෙත පිරිනැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සඳහන්ව ඇති බවයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවති පාගමනට සහ සත්යග්රහයට සහභාගී නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිවද උසාවි නියෝග ලබාගැනීමට රජය ක්රියා කිරීම නොවිය යුතු බරපතළ වරදක් බව පක්ෂය සඳහන් කළා.
එමෙන්ම උන්වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට නියෝග දුන් පාර්ශ්වයන් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවද එක්සත් ජාතික පක්ෂය එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
