ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් මාත්රා මිලදී ගැනීමේ වංචාවට අදාළව, හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (26) අවසන් කර තිබේ. ඒ අනුව, මෙම නඩුවේ විත්තිවාචකය කැඳවීම ලබන 29 වැනි දින සිදු කිරීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.
ප්රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවා ඇති අතර, පැමිණිල්ල මඟින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සම්බන්ධයෙන් විත්තිය විසින් ප්රමාණවත් ලෙස කරුණු සනාථ කිරීමක් සිදු කර නොමැති බැවින් ඉදිරියේදී නඩුවේ විත්තිවාචකය කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම සහ ජ්යෙෂ්ඨ අධිනීතිඥ කලන කොතලාවල පෙනී සිට ඇති අතර, විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාරත් ජයමාන්න, නලින් ලද්දුවෙහෙට්ටි, ප්රියන්ත නාවාන සහ අනුජ ප්රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
මෙම නඩුව මඟින් රුපියල් ලක්ෂ 1,444කට අධික රාජ්ය මුදල් අවභාවිත කරමින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ඖෂධ කුප්පි සෞඛ්ය අංශයට සැපයීම සම්බන්ධයෙන් අධිචෝදනා 13ක් යටතේ විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු භාණ්ඩ රැසක් ඉදිරිපත් කර ඇති අතර, අදාළ සැකකරුවන් අතර හිටපු සෞඛ්ය අමාත්යවරයා මෙන්ම සෞඛ්ය අමාත්යාංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුද වෙති.
මෙම නඩුවට අදාළ එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්රනාන්දු, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක, වෛද්ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර , සෞඛ්ය අමාත්යංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත, වෛද්ය සැපයුම් ඒකකයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්රසම්පාදන ක්රියාවලියේ ප්රසම්පාදන කමිටු සාමාජික වෛද්ය ජයනාත් බුත්පිටිය, සෞඛ්ය අමාත්යංශයේ අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක , වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයෙකු වන වෛද්ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම සිද්ධියට අදාලව මහේස්ත්රාත් අධිකරණ නඩුවේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු විත්තිකරුවන් දහ දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර ඇත.
එසේම ප්රමිතියෙන් තොර එන්නත් සැපයූ බව කියන පළමු විත්තිකරු වන සුගත් ජනක ප්රනාන්දු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, විදේශගතව සිටින දහවන විත්තිකරු වන වෛද්ය ජයනාත් බුත්පිටිය අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර ජාත්යන්තර රතු නිවේදන නිකුත් කර තිබේ.
අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර විසින් 2023 ඔක්තෝබර් මස කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනවලින් අනතුරුව මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරා තිබේ. අනතුරුව එම විමර්ශන අවසන් කර පෙබරවාරි 06 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු, නීතිපතිවරයා විසින් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඉකුත් වසරේ සැප්තැම්බර් 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්ර භාර දීමෙන් අනතුරුව නඩුව දිනපතා විභාග කර තිබේ.
