LMD ලැයිස්තුවේ හේලීස්, ජෝන් කීල්ස් සහ LOLC මුල් තැනට!

රුපියල් බිලියන 585 ඉක්මවූ දැවැන්ත ආදායමක් වාර්තා කරමින් මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් ශ්‍රේණිගත කිරීම වන LMD 100 හි ප්‍රමුඛස්ථානය අඛණ්ඩව තෙවන වසරටත් රැකගැනීමට හේලීස් සමාගම සමත්ව ඇති අතර කැපීපෙනෙන වර්ධනයක් සමඟින් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම දෙවන ස්ථානයටත් එල්.ඕ.එල්.සී. හෝල්ඩින්ග්ස් තෙවන ස්ථානයටත් පත්ව තිබෙනවා.

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ ප්‍රකාශක මීඩියා සර්විසස් ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත LMD 100 වාර්ෂික කලාපයෙහි ඇතුළත් විශිෂ්ටතම සමාගම් 20 හි නාමලේඛනය පෙරදසුනක් ලෙස ප්‍රකාශයට පත්කරමින් මේ බව අනාවරණය කළා.

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100 හි සමස්ත ආදායම දළ වශයෙන් 20%ක සුවිශේෂී ප්‍රසාරණයක් වාර්තා කර තිබීම මෙරට ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගයන්ගේ ශක්තිමත් පුනර්ජීවනය 2025/26 මූල්‍ය වර්ෂයට අදාළ මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මනාව පිළිබිඹු කරනු ඇති.

පෙර මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 19%ක ආදායම් වර්ධනයක් අත්පත් කරගත් හේලීස් සමාගම රුපියල් බිලියන 585 ඉක්මවූ ආදායමක් වාර්තා කරමින් පෙරමුණ තහවුරු කරගෙන තිබෙනවා.

පසුගිය වර පස්වන ස්ථානයේ පසුවූ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම 67%ක කැපීපෙනෙන ආදායම් වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 529කට ආසන්න අගයක් සනිටුහන් කරමින් දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

තෙවන ස්ථානය දිනාගත් එල්.ඕ.එල්.සී. හෝල්ඩින්ග්ස් හි ආදායම 26%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 429 ඉක්මවා තිබෙනවා.

ස්ථාන තුනක් ඉදිරියට පැමිණි කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 365 ඉක්මවූ ආදායමක් සහිතව සිව්වන ස්ථානය දිනාගෙන ඇති අතර රුපියල් බිලියන 349කට ආසන්න ආදායමක් ලැබූ කාර්සන්ස් කුම්බර්බැච් පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.

බුකිට් ඩාරා, හැටන් නැෂනල් බැංකුව, ලංකා අයි.ඕ.සී., සී.ටී. හෝල්ඩින්ග්ස් සහ කාගිල්ස් යන සමාගම් මුල් පෙළේ ආයතන 10 අතරට ඇතුළත් වනවා.

මේ පිළිබඳව අදහස් දක්වන මීඩියා සර්විසස් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ 2025 වසරේ වාර්තා වූ 5%කට ආසන්න ආර්ථික වර්ධනය සහ 2025/26 මූල්‍ය වර්ෂයේ අගභාගයේ පැවති 5%ක මට්ටමේ උද්ධමනය හමුවේ මෙරට සමාගම්වල ආදායම් වර්ධනය වීම ධනාත්මක සලකුණක් බවයි.

කෙසේ වෙතත් දේශීය මෙන්ම ගෝලීය මට්ටමින් පවතින අවදානම් සහගත සාධක හමුවේ මෙම ප්‍රකෘතිමත්භාවය තවමත් අවිනිශ්චිත ස්වභාවයක පවතින බවද එම ආයතනය පෙන්වාදෙනවා.

එමෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම්වල මූල්‍ය ශක්‍යතාව පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඇතුළත් සම්පූර්ණ LMD 100 වාර්තාව 2027 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

LMD 100 – මෙරට විශිෂ්ටතම සමාගම් 20

  1. හේලීස් (Hayleys)
  2. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings)
  3. එල්.ඕ.එල්.සී. හෝල්ඩින්ග්ස් (LOLC Holdings)
  4. කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon)
  5. කාර්සන්ස් කුම්බර්බැච් (Carson Cumberbatch)
  6. බුකිට් ඩාරා (Bukit Darah)
  7. හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank)
  8. ලංකා අයි.ඕ.සී. (Lanka IOC)
  9. සී.ටී. හෝල්ඩින්ග්ස් (CT Holdings)
  10. කාගිල්ස් (සිලෝන්) (Cargills Ceylon)
  11. සම්පත් බැංකුව (Sampath Bank)
  12. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (Ceylon Cold Stores)
  13. ඩයලොග් ආසියාටා (Dialog Axiata)
  14. මෙල්ස්ටාකෝප් (Melstacorp)
  15. බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි (Brown and Company)
  16. වැලිබල් වන් (Vallibel One)
  17. සිලෝන් බෙවරේජ් හෝල්ඩින්ග්ස් (Ceylon Beverage Holdings)
  18. ලයන් බෲවරි (Lion Brewery Ceylon)
  19. සිංගර් ශ්‍රී ලංකා (Singer Sri Lanka)
  20. හේමාස් හෝල්ඩින්ග්ස් (Hemas Holdings)

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading