සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා නමැත්තාට පනවා තිබූ එම මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබි ශ්රේෂ්ඨාධිකරණය ඊයේ (13) පියවර ගෙන තිබෙනවා..
ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව දියත් කරන ලද දැඩි රාජ්යතාන්ත්රික සබඳතා සහ නීතිමය ක්රියාමාර්ගවල සුවිශේෂී ජයග්රහණයක් ලෙස මෙම තීන්දුව සටහන් වන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් තහවුරු කළා.
මෙම ජීවිත බේරාගැනීමේ ක්රියාවලියේදී සෞදි අරාබි රාජකීය රජය ලබා දුන් මානුෂීය සහයෝගය සහ නම්යශීලීභාවය වෙනුවෙන් ශ්රී ලංකාව වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන බව ද නියෝජ්ය අමාත්යවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම මෙම නීතිමය සටන සාර්ථක කර ගැනීම වෙනුවෙන් කැපවූ රියාද් නුවර ශ්රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ප්රමුඛ නිලධාරී මඩුල්ල මෙන්ම නඩුව වෙනුවෙන් පෙනී සිටි ශ්රී ලංකා සහ සෞදි අරාබි නීතිඥ කණ්ඩායම් දැක්වූ නොපසුබට උත්සාහය හා කැපවීම ද නියෝජ්ය අමාත්යවරයාගේ විශේෂ ඇගයීමට ලක් කරමින් සඳහන් කර තිබෙනවා.
2026 ජූනි 27 වනදා නැගෙනහිර පළාතේ කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල අසලදී පාද යාත්රාවක පැමිණි “සුබ්රමනියම්” නැමැති සුනඛයෙකුට පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් සමාජ මාධ්යවල සංසරණය වීමත් සමඟ ඊට එරෙහිව මහජන විරෝධයක් මතුවීමෙන් පසු අනෝජන් සිවරාසා අත්අඩංගුවට පත් වුණා.
අනතුරුව ෆේස්බුක් ඔස්සේ මෙම සිද්ධිය මුල් කරගනිමින් දෙමළ හා මුස්ලිම් පරිශීලකයන් පිරිසක් අතර දැඩි ආගමික හා ජාතිවාදී මත ගැටුමක් නිර්මාණය වුණා.
එහිදී හින්දු ආගමික විශ්වාසයන්ට (ශිව ලිංගයට) එරෙහිව එල්ල වූ අපහාසාත්මක අදහස් දැක්වීමකට ප්රතිචාර දක්වමින්, එකල සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටි අනෝජන් සිවරාසා විසින් ඉස්ලාම් ධර්මයේ මුහම්මද් නබිතුමා ඉලක්ක කරගනිමින් දැඩි ප්රචණ්ඩකාරී හා ලිංගික අපහාසයක් සහිත ප්රකාශයක් පළ කර තිබුණා.
තම ප්රකාශය සම්බන්ධයෙන් පසුතැවිලි වූ අනෝජන් කෙටි වේලාවකින් එම සටහන මකා දමා, වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ආවේගය මත සිදුවූ වරදට මුස්ලිම් ප්රජාවගෙන් ප්රසිද්ධියේ සමාව අයැද සිටියා.
කෙසේ වෙතත් ඊට පෙර ලබාගත් එම සටහනේ තිර ඡායාරූප අරාබි බසට පරිවර්තනය කරමින් මෙරට ඇතැම් පාර්ශව විසින් සෞදි අරාබියේ ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබුණා.
ඒ අනුව සෞදි අරාබියේදී අත්අඩංගුවට පත් වූ අනෝජන් සිවරාසාට එරෙහිව එරට සයිබර් අපරාධ මර්දන නීතියේ 6 වන වගන්තිය යටතේ නඩු පවරනු ලැබුවා.
2026 ජූලි 14 වනදා තීන්දුව ප්රකාශයට පත් කළ අල්-අහ්සා අපරාධ අධිකරණය, ඔහුට එරෙහිව වසර 5ක සිරදඬුවමක්, සෞදි රියාල් මිලියන 3ක දැවැන්ත දඩයක්, ජංගම දුරකථනය රාජසන්තක කිරීම සහ සමාජ මාධ්ය ගිණුම ස්ථිරවම වසා දැමීමට නියෝග කරමින් නීතියේ උපරිම දඬුවම් නියම කළා.
සාමාන්ය පවුල් පසුබිමකින් පැමිණි අනෝජන් මුහුණ දුන් මෙම අතිශය අසීරු තත්ත්වයෙන් ඔහුව මුදාගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් ශ්රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමට අනුව විදේශ කටයුතු අමාත්යාංශය සහ රියාද්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය නීතිඥ සහාය ලබා දෙමින් අභියාචනා ඉදිරිපත් කිරීමට කටයුතු කළා.
එම අඛණ්ඩ රාජ්යතාන්ත්රික හා නීතිමය මැදිහත්වීමේ ප්රතිඵලයක් ලෙස සෞදි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කරමින් ඔහුට පනවා තිබූ දැඩි දඬුවම් ඉවත් කරවා ගැනීමට මේ වන විට හැකිව තිබෙනවා.
