හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය විසින් අද දින ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් පෙරේරා මහතාත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් රජයේ අධිනීතිඥ සමදරී පියසේන පෙනී සිටියාය. ඇයට අමතරව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ කොස්තාපල් පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් පෙනී සිටියාය.
2010 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක මුදලක් සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ ගිණුමට බැර කර තිබූ අතර, එම මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.
මෙහිදී රජයේ අධිනීතීඥවරිය අධිකරණයට කරුණු දක්වමින් අවධාරණය කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන කරුණු (B වාර්තාව) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින්, මෙම ඇප අයදුම්පත සලකා බැලීමට මාලිගාකන්ද අධිකරණයට බලයක් නොමැති බවයි. මාලිගාකන්ද අධිකරණය හමුවේ ඇත්තේ මුල් පැමිණිල්ලේ විමර්ශන කටයුතු පමණක් බවද ඇය පෙන්වා දී තිබේ.
ඊට විරෝධය පළ කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ප්‍රකාශ කළේ, මූලික කරුණු වාර්තා කිරීම සහ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝග ලබා දුන්නේ මාලිගාකන්ද අධිකරණයෙන් බැවින් මෙම අධිකරණයට ඊට බලයක් ඇති බවයි.
කෙසේ වෙතත්, රජයේ අධිනීතීඥවරිය දැක්වූ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරිය, අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත නිශ්ප්‍රභ කළ අතර, එය නිශ්චිත අධිකරණ බල සීමාව සහිත අධිකරණයේ (කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ) ගොනු කරන ලෙසට පෙත්සම්කාරියට දැනුම් දෙන ලදී.
