ඥානසාරගේ රෙදි ප්‍රශ්නෙන් පස්සේ, අපරාධ කරපු හිමිවරුන්ට සිවුරු ඇන්දවීම සලකා බලන්න ජනාධිපතිගෙන් කමිටුවක්

1877 අංක 16 දරන බන්ධනාගාර ආඥා පනත යටතේ ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග වර්තමාන කාලයට, ආගමික සහ සංස්කෘතික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි විශේෂ පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ඊයේ (8) දින ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මෙම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මින්ගෙන් මෙම කමිටුව සමන්විත වන බව එම නිවේදනයේ සඳහන් වේ.

බන්ධනාගාර ආඥා පනතේ දැනට පවතින නීති සහ නිත්‍ය නියෝග සමාලෝචනය කර, වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය හා ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සංශෝධන හඳුනාගැනීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම බව පැවසේ.

ඥානසාරගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට යවන ලද ලිපිය සහ ඒ හා සබැඳිව සමාජය තුළ ඇතිව තිබෙන තත්ත්වයත්, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ දින ජනාධිපතිවරයා සහ මහාසංඝරත්නය හමුවූ බව ඊයේ දින ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් පවසා සිටියා.

කෙසේ වෙතත්, මෙම කමිටු නිර්දේශ මඟින් බන්ධනාගාර නීති සංශෝධනය වූ පසු එම නීතිමය බලපෑම ඥානසාරට පමණක් සීමා නොවනු ඇත. දැනට වාර්තා වන අන්දමට විවිධ වැරදි සහ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව හෝ රක්ෂිත බන්ධනාගාරගතව පසුවන හිමිවරුන් 60කට අධික සංඛ්‍යාවකට (63-69ත් අතර ප්‍රමාණයකට) මෙම නව නීති රෙගුලාසි ඉදිරියේදී සෘජුවම බලපානු ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading