භාණ්ඩ ආනයනය කරන බවට අසත්‍ය ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස මුදල් පිටරට යැවූ ජෙෆ්රි මොහොමඩ්ට ඇප

භාණ්ඩ ආනයනය කරන බවට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ලෙස මුදල් බිලියන ගණනක් විදේශ රටවලට යැවීමේ සිද්ධියකට අදාළව චෝදනා ලබා සිටින ජෙෆ්රි මොහොමඩ් නැමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය ඊයේ දින (08) ඇප නියම කර තිබේ.

මෙම නඩුව ඊයේ දින කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

2026 පෙබරවාරි 13 වනදාත් මාර්තු 02 වනදාත් අතර කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලදැයි කියන රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා යටතේ මොහුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

කොළඹ, වොක්ෂෝල් වීදියේ පිහිටි ‘Ay ඉන්වෙස්ට්මන්ට් ඉම්පැක්ට් (පෞද්ගලික) සමාගමේ’ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති විත්තිකරුට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර ඇත්තේ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3(1) වගන්තිය යටතේ ය.

මේ අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ මොහුට එරෙහිව පවරා තිබූ නඩුවකින්, සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය පනත යටතේ ඉදිරි නීතිමය පියවර ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට පොලීසිය අධිකරණයට දැනුම් දීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් පෙරේදා (07) විත්තිකරු නිදහස් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading