කොළඹ මහ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන බෙහෙත් ශාලාවක් මගින් ප්‍රතිකාර ලබානොදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාධ්‍යවේදි රවිශාන් කුමාර ප්‍රනාන්දු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් හා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරියගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී රවිශාන් සඳහන් කරන්නේ ඔක්තෝබර් 07 දින අසනීප තත්වයක් හේතුවෙන් ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයට ආසන්න බොරැල්ල කොටා පාරේ පිහිටි කොළඹ මහ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන බටහිර ඖෂධ ශාලාවට ගිය බවයි.
එහිදී ඔහුගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි බවත්, එය පරික්ෂා කිරීමෙන් පසු ඉහළින් ලැබී ඇති උපදෙස් අනුව කොළඹ මහ නගර සභාවට බදු ගෙවන නගර වැසියන්ට පමණක් ඖෂධ නිකුත් කිරීමට උපදෙස් ලැබී ඇති බව දැනුම් දුන් බවත්ය.
එහිදී තමා බොරැල්ලේ බෝඩිං වී සිටින බව, බෝඩිමේ හිමිකාරිය නගර සභාවට බදු ගෙවන්නේ තමා ගෙවන කුලී මුදලින් බව හා අසනීප තත්වය හේතුවෙන් මුදල් නැති නිසා එම ඖෂධ ශාලාවට බෙහෙත් ගැනීමට පැමිණි බව ඔහු පැවසු බව මාධ්‍යවේදී රවීශාන් සඳහන් කරයි.
එහිදී එහි නිලධාරීන් කොළඹ මහ නගර සභාවෙන් එවා තිබූ උපදෙස් ලේඛනයක් පෙන්වූ බවත්, එහි ‘ප්‍රතිකාර සඳහා ප්‍රථම වතාවට පැමිණෙන රෝගීන් තම ජාතික හැඳුනුම්පත හෝ ප්‍රදේශය තුළ පදිංචිය තහවුරු කළ ග්‍රාම නිලධාරිගේ ලිපිය ඉදිරිපත් කළ යුතු බව කාරුණිකව සලකන්න’ යනුවෙන් සඳහන් කර තිබූ බවත් සඳහන් කරයි.
ඒ අනුව මාධ්‍යවේදී රවිශාන් ඉල්ලා සිටින්නේ කොළඹ නගරයේ ඩෝඩිංවල ජීවත්වන පුරවැසියන්ට රාජයේ සෞඛ්‍ය සේවා සහ ඖෂධ ලබා ගැනීමේදී ඔවුන්ගේ පදිංචි තත්වය හේතුවෙන් අනවශ්‍ය බාධාවන් හා මානසික පීඩා ඇති නොවන ක්‍රමවේද හා උපදෙස් සකස් කරන ලෙසයි.
