දුවගේ අනාගතය සලකා මවට ඇප දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි! සරණගේ බිරිඳ ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකදී සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීම සඳහා අධිකරණ කාර්යාල කාර්ය සහයකයෙකුට රුපියල් 50,000ක අල්ලසක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන ඔක්තෝබර් 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් මෙම සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් සිදු කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දෙවන සැකකාරිය වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි, පළමු සැකකරු වන කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු වන චරිත් නමැත්තා සහ මෙම සිදුවීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා යන තිදෙනායි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, කොළඹ අංක 11 මහාධිකරණය හමුවේ විභාග වන සරණ ගුණවර්ධන මහතාට අදාළ නඩුවකදී විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීමේ අරමුණින් අධිකරණ කාර්ය සහයකයාට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීම සම්බන්ධයෙන් දෙවන සැකකාරියට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි.

පළමු සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අතර දින දහයක් තිස්සේ හුවමාරු වූ රහසිගත WhatsApp සංවාද වාර්තා සොයාගත් බව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දන්වා සිටියා.

ඒ අනුව 2026 අගෝස්තු 14 වන දින සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳගේ පාර්ශ්වයෙන් පළමු සැකකාර කාර්ය සහයකයා වෙත “චරිත් එන්න” යනුවෙන්කෙටි පණිවිඩය යොමු කර ඇති බවත් 2026 අගෝස්තු 17 වන දින අදාළ කාර්ය සහයකයා විසින් ප්‍රතිචාර දක්වමින්, “මං කරන්න පුළුවන්ද බැරිද කියලා දවස් දෙකකින් කියන්නම්” යනුවෙන් පණිවිඩයක් යවා ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කළා.

එමෙන්ම 2026 අගෝස්තු 23 වන දින පළමු සැකකාර කාර්ය සහයකයා විසින් සෘජුවම මුදල් සූදානම් කර තබන ලෙස දන්වමින්, “මැඩම් වැඩේ හරි, සල්ලි ටික ලෑස්ති කරලා තියන්න. මං එනවා දැන්” යනුවෙන් පණිවිඩය යොමු කර ඇති බව එම නිලධාරින් පැවසුවා.

මේ අතර මෙම සැකකරුවන් අතර පණිවිඩ හුවමාරුවේදී විශේෂිත කේත ක්‍රමයක් භාවිත කර ඇති බවත් පසුව එම පණිවිඩ රැසක් මකා දමා තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මුදල් හුවමාරු කරගත් බව තහවුරු වන ඉන්වොයිස් පත් ද මෙම වට්ස්ඇප් පණිවිඩ අතර තිබී සොයාගත් බව විමර්ශන නිලධාරින් කියා සිටියා.

ඉන් අනතුරුව අධිකරණයක ස්වාධීනව විභාග වන නඩුවකට කිසිසේත්ම මෙලෙස අයුතු බලපෑම් සිදු කළ නොහැකි බව පෙන්වා දුන් අල්ලස් කොමිසම, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

දෙවන සැකකාරිය වන සරණ ගුණවර්ධනගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඕනෑම කොන්දේසියක් යටතේ ඇයව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

“ස්වාමීනි, මාගේ සේවාදායකයාගේ දියණිය උසස් පෙළ විභාගයෙන් ‘A’ සාමාර්ථ 4ක් ලබාගෙන ඉන්නේ. ඇයට විදේශගත වීමේ අවස්ථාව පවා ලැබී තිබෙනවා. දියණියට වීසා ලබාගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. ඇයගේ පියා මේ වන විටත් සිරදඬුවම් විඳිමින් සිටින අතරතුර මවත් රක්ෂිත බන්ධනාගාරගත වුවහොත් එම දරුවාට එය දරාගැනීමට නොහැකි වෙනවා. ඒ හේතුවෙන් දරුවා දැඩි මානසික ආතතියකට පත්ව සිටිනවා. ඒ දරුවා කිසිදු වරදක් කර නැති බැවින් මාගේ සේවාදායකයාට සුදුසු ඇපයක් ලබාදෙන්න.”

මේ අතර පළමු සැකකාර කාර්ය සහයකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ, තම සේවාදායකයා වසරකට අධික කාලයක් අදාළ විනිසුරුවරයා යටතේ සේවය කර ඇති බවත් කිසියම් පෙළඹවීමක් මත මෙම සිදුවීම සිදුව ඇතැයි පෙනී යන බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසයි.

තුන්වන සැකකාර මිනුවන්ගොඩ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, තම සේවාදායකයා අල්ලස් ලබාගත් බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් ඔහු ද ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද සියලු කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු ඇප ලබාදීම සඳහා ප්‍රමාණවත් වන සුවිශේෂී කරුණු නොවන බව සඳහන් කළා.

ඒ අනුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් තිදෙනාම ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටි සමයේදී රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු කරමින් අධිකරණය මඟින් මීට පෙර ඔහුට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබූ අතර ඔහු මේ වන විටත් සිරදඬුවම් විඳිමින් පසුවනවා.

ඔහුට එරෙහිව කොළඹ අංක 11 මහාධිකරණයේ විභාග වන තවත් නඩුවකදී සිරගත නොවී බේරීම සඳහා’අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීමේ අරමුණින්, විනිසුරුවරයාට බලපෑම් කිරීමට අධිකරණ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට මුදල් ලබාදීමට උත්සාහ කිරීම මෙම අල්ලස් චෝදනාවට හේතු වුණා.

ලද තොරතුරකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදු කළ ක්ෂණික මෙහෙයුමකදී මුලින්ම අදාළ කාර්යාල කාර්ය සහයකයා අත්අඩංගුවට ගත් අතර අනතුරුව ඔහුගේ දුරකථන දත්ත හා තොරතුරු ඔස්සේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ සහ ඊට ආධාර අනුබල දුන් බව කියන මිනුවන්ගොඩ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාව ද අත්අඩංගුවට ගනු ලැබුවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading