ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ මෙම සමාලෝචනය ඔවුන්ගේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ ණය වාරිකයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි.
මෙම වාරිකයත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති සමස්ත මූල්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යනු ඇත.
මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වේ. එම අනුමැතිය සඳහා වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බව තක්සේරු කිරීම සඳහා මූල්‍ය සහතික කිරීමේ සමාලෝචනය සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.
මැද පෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් අවදානම් සහගත මට්ටමක පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.
මැද පෙරදිග යුද්ධය දිගුකාලීනව පවතින්නේ නම්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි සිදුවන වෙනස්කම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ගැලපිය යුතු අතර, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණයක් පවත්වාගෙන යා යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.
මැදපෙරදිග යුද්ධයේ දෙවන වටයේ බලපෑම් තවදුරටත් දැඩි වුවහොත්, අවශ්‍ය අවස්ථාවලදී මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානමින් සිටිය යුතු බවද ඔවුන් දැනුම් දී තිබේ.
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කිරීම, බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම හා සාධාරණ කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී නීති රාමුවේ විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
ශක්තිමත් සහ සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ව්‍යාපාර හා කම්කරු නීති නවීකරණය කිරීම, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ වෙළෙඳපොළ ලිබරල්කරණය කිරීම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
මෙරට සැප්තැම්බර් 10 සිට 23 දක්වා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මෙහෙයුමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාර්ගගත සාකච්ඡා පවත්වා මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹ ඇත.
