රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකු සහ මාධ්‍යවේදියකු අතර වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව ඊයේ (30) පැවති නඩු විභාගයෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු සහ මාධ්‍ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන්, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලා සිටියි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පිවිසුම් දොරටුව අසලදී සිදු වී ඇති මෙම සිද්ධිය අද (01) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, මහජනතාව වෙත තොරතුරු වාර්තා කිරීමේ මාධ්‍යවේදීන්ගේ අයිතිය මෙන්ම රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ද එක ලෙස සුරක්ෂිත විය යුතු බවයි.

එබැවින් මෙම සිදුවීමේදී ආරක්ෂක නිලධාරියාගේ නිල රාජකාරියට බාධා කිරීමක් සිදුවී ඇත්ද නැතහොත් මාධ්‍යවේදියාගේ නිදහස් මාධ්‍ය භාවිතයට සහ රාජකාරියට බාධාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව විනිවිදභාවයෙන් යුත් පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව එම සංගමය පෙන්වා දෙයි.

අධිකරණ භූමියක් වැනි සංවේදී ස්ථානයක සිදුවූ මෙම සිදුවීම ඔස්සේ සමාජය තුළ පවතින පුරවැසි අනාරක්ෂිතභාවය මෙන්ම මාධ්‍යවේදීන්ගේ සහ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවන බැවින්, මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන්ගේ විශේෂ අවධානය වහා යොමු විය යුතු බව ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading