ටිරාන් අලස් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ සේවකයින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගම විසින් ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

වාණිජ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සිදුකෙරෙන විමර්ශන මත ටිරාන් අලස් මහතා ඇතුළු සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ සේවකයින් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම්කාර සමාගම අධිකරණයට දන්වා ඇත්තේ, එල්.පී.එල්. කේසර ලංකා පෞද්ගලික සමාගමෙන් කඩදාසි මිලදී ගැනීමේ ව්‍යාපාරික ගනුදෙනුවක් සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමෙන් පසු එම කඩදාසි මිලදී ගැනීමට අදාළව අනාගත දින යොදා නිකුත් කළ චෙක්පත් කිහිපයක් මාරු කිරීමේදී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් කේසර ලංකා පෞද්ගලික සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඊට අදාළ කරුණු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති බව ද පෙත්සමේ සඳහන් වේ.

මෙය හුදෙක් ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ සිවිල් ආරවුලක් බවත්, එය අපරාධමය සිද්ධියක් ලෙස සලකා සිදුකරන විමර්ශන නීතියට පටහැනි බවත් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

එමෙන්ම, අදාළ විමර්ශන මත තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින්, එය වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading