පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා හා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සහ සැකකරුවන් දෙදෙනා ලබන ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබේ.
අදාළ නඩුව අද දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නඩු විභාගය 2008 වසරේදී නැගෙනහිර පළාතේ සිදුවූ බරපතළ අපරාධ සිද්ධීන් කිහිපයක් පදනම් කරගනිමින් පවත්වනු ලබයි. ඒ අතර කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි ප්‍රදේශයේදී දෙමළ ජනතා විමුක්ති කොටි (TMVP) පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතීවු – කරෙයියක්කන්තිවු ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කෲර ලෙස ඝාතනය කිරීම යන සිදුවීම් ප්‍රධාන වේ. මෙම සිදුවීම්වලට අදාළව ප්‍රධාන සැකකරුවෙකු වන පිල්ලෙයාන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
