දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් දෙදෙනා පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවරූ නඩුව අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම නඩුවට අදාලව මාර්ගගත ක්‍රමයට සාක්ෂි දීම සඳහා අද කොලඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණියේය. ඔහුට සියළු අතුරුදන් කිරීම් පිලිබඳ සත්‍යය හෙලිකරන ලෙස බලකරමින් අද, සැප්තැම්බර් 29 පෙරවරු 10.00ට අලුත්කඩේදී නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ,
“ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සහෝදරවරු දෙදෙනා 2010 දෙසැම්බර් 10 වැනිදා ආරක්ෂක හමුදා පාලනය යටතේ තිබූ යාපනය අධි ආරක්ෂිත කලාපයකදී පැහැරගෙන අතුරුදන් කරනු ලැබුවා. ඊට පසු සතියේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා ඔවුන් දෙදෙනා සිටින්නේ අත්අඩංගුවේ බව. ඔවුන් අධිකරණයකට ඉදිරිපත් කරන බවත් ඔහු පැවසුවා. නමුත් වසර 16ක් ගතවුණා, ලලිත් සහ කුගන් ගැන කිසිදු ආරංචියක් නෑ. අපි 2011දී අභියාචනාධිකරණයේ ඔවුන් දෙදෙනා සිටින තැන හෙලිදරව් කරන ලෙස ඉල්ලා හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළා. එහි විමර්ශන කටයුතු අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළා. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දුන් කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ තමන් කැබිනට් මාධ්‍ය හමුවේ එලෙස පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දුන් උපදෙස් අනුව බව. ඒ අනුව 2019 අප්‍රේල් මාසයේදී මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එතැන් සිට වසර හතහමාරක් ගෝඨා අධිකරණයෙන් කට්ටි පැන්නා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිගින් දිගටම කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අද ඔහුට කොළඹ අධිකරණයකට පැමිණ මේ අපරාධ ගැන කට උත්තර දීමට සිදුව තිබෙනවා.
මෙය ඓතිහාසික වන්නේ වසර 16කට පසු හිටපු ජනාධිපතිවරයෙක් සාක්ෂි කූඩුවට නැංවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමත්වූ නිසා පමණක් නෙවෙයි. රාජපක්ෂ ආණ්ඩුවම පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් වාර්තාවේ අතුරුදන් කළ 25,000කගේ නම් තිබෙනවා. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවේ බලහත්කාරයෙන් අතුරුදන් කළ 30,000කගේ නම් තිබෙනවා. ඒ කිසිවකට යුක්තිය ඉටුවී නෑ, අවම වශයෙන් නෛතික ක්‍රියාමාර්ග නෑ. ලලිත් කුගන් නඩුව තමයි සක්‍රියව පවතින එකම නඩුව. මේ සියලු අපරාධ වලට වගකිවයුතු ගෝඨාට මේ ගැන දැන් උත්තර දීමට සිදුවෙනවා. අපි ලලිත් කුගන් අතුරුදන් කිරීම පමණක් නොව මේ සියල්ල ගැන විමසනවා. මේ අපරාධ වලට යුක්තිය ඉටු කිරීමේදී සිදුවු දෑ පිළිබඳ සත්‍යය හෙලිදරව් කිරීම, වගකිවයුත්තන්ට දඬුවම් දීම, අනාගතයේදී එවැනි දේ නැවත සිදුවීම වැළැක්වීම යන සියල්ල වැදගත්. අපි ඒ වෙනුවෙන් අඛණ්ඩව නෛතික ක්ෂේත්‍රයේ වගේම ජාතික – ජාත්‍යන්තර උද්ඝෝෂණ, ප්‍රචාරක, දේශපාලන ක්ෂේත්‍ර වල අරගල කරනවා. අනාගතයේදී ලංකාවේ කිසිම පුරවැසියෙකු මේ ආකාරයෙන් අතුරුදන් නොවන තත්වය නිර්මාණය කිරීමට අප කැපවෙනවා.”

