ක්‍රිෂ් ගනුදෙනුවේ මුදල්, කළු සල්ලි බව ඉන්දියානු රජය දැනුම් දීලා

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව භාවිත කර ඇති මුදල්, මුදල් විශුද්ධිකරණයෙන් උපයාගත් මුදල් බවට ඉන්දියානු රජය විසින් දැනුම් දී ඇති බව අල්ලස් කොමිසම අද (සැප්තැම්බර් 29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද කැඳවූ අතර, එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරිනිය මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

ස්වාමීනි,
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් මොහුව සැකකරුවෙකු ලෙස නම් කළා.

මෙම සිදුවීමට අදාළව රුපියල් මිලියන 70ක් නිමල් පෙරේරා යන අය හරහා අවස්ථා දෙකකදී මිලියන 35 බැගින් මෙම සැකකරු භාරගෙන තිබෙනවා. ඒ බව සැකකරුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති අතර එය ඔහු විසින් තහවුරු කළා. මෙම සිදුවීමට අදාළ ප්‍රස්තුත ඉඩම ලබා දීමේදී රාජ්‍ය ආයතන ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙනවා. එක් දවසක් තුළ අධ්‍යක්ෂ මණ්ඩලය මෙය අනුමත කරලා තියෙනවා. ඉන්දියානු රජය මෙරටට දැනුම් දී තිබෙනවා මෙම ගොඩනැගිල්ල කටයුතු සඳහා අශුද්ධ මුදල් භාවිත කර ඇති බවට. මෙම ප්‍රස්තුත ඉඩම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ආයෝජනය කර තිබියදී තමයි නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රිෂ් සමාගමට පැවරීමට ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙන්නේ. ඒ කාලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කලේ මොහුගේ බාප්පෙක් වෙන බැසිල් රාජපක්ෂ. ඒ කාලේ නාගරික සංවර්ධන අධිකාරිය පැවැතියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ එහි ලේකම් ලෙසත් මොහුගේ බාප්පෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ තමයි කටයුතු කළේ. මෙම ගණුදෙනුව වන විට රටේ ජනාධිපති ලෙස කටයුතු කළේ මොහුගේ පියා මහින්ද රාජපක්ෂ. මේ සියලු කරුණු සලකා බලා තමයි දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැකකරු සම්බන්ධව සහතිකයක් නිකුත් කර තිබෙන්නේ. අධිචෝදනා පත්‍ර ඉක්මනින් ගොනු කිරීමට කටයුතු කරනවා.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පෙනී සිට ඇති අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. අනතුරුව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කරුණු දැක්වීමක් සිදු කරමින් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කර ඇත.

උපුටා ගැනීම
ජනාධිපති නීතීඥ අලි සබ්රි

ස්වාමිනි, මොවුන් මගේ සේවාදායකයව සැකකරුවාක් ලෙස නම් කරන්නත් කලින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඉදිරිපත් කර තිබෙනවා මේ අධිකරණය හමුවට, ස්වාමීනි මෙහෙම කරන්න බැහැ.
මේක private මාෆියාවක් වගේ හරියට. සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ අල්ලස් පනතෙන්. නව දූෂණ විරෝධි පනතෙන් නෙමේ, සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. එවන් අවස්ථාවක සැකකරුට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන මෙම සහතිකයේ වලංගුතාවයක් නෑ. මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී.”

කරුණු සලකා බැලීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading