වරෙන්තු නිකුත් කිරීමෙන් පසු විමල් අධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, සිය සේවාදායකයා ගමන් කළ වාහනයේ හටගත් දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

ඒ අනුව, විමල් වීරවංශ මහතාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා දැනුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවීමෙන් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

අද (සැප්තැම්බර් 21) නඩුව කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබිණි.

2016 පෙබරවාරි 6 වැනිදා එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වූ සෙයිද් රාද් අල් හුසේන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුවට අදාළව, තුම්මුල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග අවහිර වන ආකාරයෙන් පුද්ගලයන් 600කට ආසන්න පිරිසක් එම උද්ඝෝෂණයට සහභාගී වී තිබූ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න සහ පියසිරි විජේනායක යන අය නම් කර තිබේ.

Author

Related Posts