රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.
පසුගිය සතියේදී නීතිපති නියෝජනය කරමින් අධිකරණයේ අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මේ බව විවෘත අධිකරණයේදීද පවසා තිබුණි.
මෙම ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළ සිදු කර ඇති බැවින් ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වේ. එබැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා ඕනෑම ප්‍රකාශයක් ඔවුන්ගේ ස්වේච්ඡාවෙන් සහ පූර්ණ සහයෝගය ඇතිව ලබා දිය යුතු වේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට ප්‍රකාශයක් ලබා නොදී සිටීමේ හැකියාවද ඇත.
මේ පිළිබද වට්නිව්ස් කළ සොයාබැලීම්වලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමතරව මුජිබුර් රහුමාන්, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් මෙලෙස ප්‍රකාශ ලබා දීම සදහා ඉල්ලීම් කිරීමට නියමිත මන්ත්‍රීවරුන් අතර සිටින බව වාර්තා විය.
කෙසේ වෙතත් අප වෙත අදහස් දැක්වූ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැවසුවේ තමන් ඇතුළු අය පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් විවිධ රහසිගත මූලාශ්‍රවලින් තමා වෙත විශ්වාසයෙන් ලබා දුන් තොරතුරු මත කළ ප්‍රකාශ බවත්, එම මූලාශ්‍ර හෙළි කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොලැබෙන බවත්ය. තමන් කියූ කරුණු දැනටමත් හැන්සාඩ්ගතව පවතින බැවින් එම තොරතුරු ලබා දුන් අවංක, නිර්දෝශී මෙන්ම හෘදය සාක්ෂියක් සහිත පුද්ගලයන්ගේ නම් ගම් ප්‍රකාශ හරහා හෙළි කිරීම එවැනි අයගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවත්ය. තමන් වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයන්ම මේ වෙද්දී විමර්ශනවලටත් සහයෝගය ලබා දී ඇතැයි හැගෙන බැවින් මෙලෙස තමන්ව ප්‍රශ්න කිරීම ගැටලු සහගත බව එම මන්ත්‍රීවරයා කීය.
කෙසේ වෙතත් නිල කැදවීමක් ලැබුණු පසු එහි ස්වභාවය සලකා බලා නිල ප්‍රතිචාරයක් දක්වන බව එම මන්ත්‍රීවරයා අප වෙත පැවසීය.
අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය තීරණය කර ඇත්තේ, ඔවුන්ගේ චෝදනා සනාථ කිරීම සඳහා විශ්වාසදායක තොරතුරු ඔවුන් සතුව තිබිය හැකිය යන විශ්වාසය මත බවද ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලින් අදාළ මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශවල පිටපත් ලබාගෙන, ඒවා විශ්ලේෂණය කර ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගන්නා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ලබා ගනු ලබන්නේ ස්වේච්ඡාවෙන් පමණක් බවත්, ඔවුන් සතුව ඇති යම් තොරතුරක් බෙදා ගනිමින් පරීක්ෂණ සඳහා සහය වන ලෙස පමණක් තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරනු ඇත.
