අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සමග කටයුතු කරන ශ්‍රී ලාංකික ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රජීව්කාන්ත් අනෝජන් සමග දූරකථනයෙන් කතාබහ කොට තහවුරු කරගත් කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ.
ඔහුගේ එම සටහන මාධ්‍යවේදී ශබීර් මොහොමඩ් මෙසේ සිංහලට පරිවර්තනය කර තිබුණි.
“ඉතාමත් වගකීමෙන් යුතුව සැමට දැනුම් දෙමි.
අද උදෑසන 10.30 ට පමණ මම අනෝජන්ගේ පවුලේ අය හමුවුණෙමි. එම අවස්ථාවේදී අනෝජන්ගේ මල්ලී වන “හම්සිතන්ට” සවුදි අරාබියේ සිට අනෝජන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.
මම අනෝජන් සමඟ විනාඩි 10 ක් කතා කළෙමි. මීට පෙර අවසන් වරට ජූනි 30 වනදා ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මම ඔහු සමඟ කතා කර තිබුණෙමි.
අනෝජන්ගෙන් මම නැවත තහවුරු කරගත් කරුණු සම්පූර්ණයෙන්ම මෙසේ ඉදිරිපත් කරමි.
// සයිබර් අපරාධ (Cyber crime) නඩුවක් ලෙස මෙහෙයවන ලද අනෝජන්ගේ නඩුවට මුලින්ම වසර 5 ක සිරදඬුවමක් සහ රියාල් මිලියන 3 ක දඩයක් නියම විය.
පසුව ශ්‍රී ලංකා රජය මැදිහත් වී ඔහුගේ දඬුවම අඩු කරගැනීමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා ලදී.
එම අවස්ථාවේදීම, අනෝජන්ට එරෙහිව නඩුව පැවරූ සවුදි පාර්ශ්වය මෙම දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් නැවත අභියාචනයක් ඉදිරිපත් කළේය.
එහිදී නබි නායකතුමන්ට අපහාස කිරීම, එය බොහෝ දෙනෙකු අතර බෙදාහැරීම (share කිරීම) සහ තවත් කරුණු කිහිපයක් එකතු කරමින් නඩුව වෙනත් කෝණයකින් නැවත ලියාපදිංචි කරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට මරණ දඬුවම නියම වී ඇති අතර, ඒ බව අනෝජන්ට සම්පූර්ණයෙන්ම දැනුම් දී, ඔහුගේ පවුලේ අයටද ඒ බව දැනුම් දීම සඳහා දුරකථන ඇමතුමක් ගැනීමට පහසුකම් සලසා දී ඇත. //
ඊට පසුව ඔහු තම පවුලේ අයට මේ බව දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නීතිඥවරයා සහ සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා මන්දගාමීව කටයුතු කරති. ඔවුන්ට තවමත් නිල තොරතුරු ලැබී නොමැති බව පවසමින් අපට මෙම කරුණු පස්සට තල්ලු කළ නොහැක.
ඔහුගේ දඬුවම සම්බන්ධයෙන් සහ ඇතැම් කරුණු වැරදි අවබෝධයකින් යුතුව හසුරුවන ආකාරය ගැන අනෝජන් මා සමඟ පැවසීය.
7 වනදා දක්වා ඔහු සිටින බන්ධනාගාරයේ සිට සම්බන්ධතා පැවැත්වීමට ඔහුට හැකියාව ඇත.
ඔහුගේ දඬුවම සම්බන්ධයෙන් ඔහු දැනටමත් කිහිප වතාවක්ම තහවුරු කර ඇති පදනම මත, ඔහුගේ නිදහස වෙනුවෙන් අපට දැඩි ලෙස කැපවී කටයුතු කිරීමට සිදුවී ඇත.”
මේ අතර අනෝජන් වෙනුවෙන් රජීව්කාන්ත් ඇතුළු පිරිසක් විසින් සැප්තැම්බර් 21 වැනිදා සවුදි තානාපති කාර්යාලයට සමාව ඉල්ලා ලිපියක් බාරදීමට නියමිතය. ඔවුන් සැප්තැම්බර් 20 වැනිදා කල්මුණේ ප්‍රදේශයේ පෙත්සමක් අත්සන් කිරිමේ ව්‍යාපාරයකද නිරත විය.
