කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු එම්.එම්. වික්‍රමසේකර රාජපක්ෂ විමලගුණරත්න නමැති කාර්ය සහයකයෙකු රුපියල් 500ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (සැප්තැම්බර් 16) අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක් සමථ වීමෙන් අනතුරුව, එම නඩුවේ තීන්දුවේ පිටපතක් ලබාදීම සඳහා ඔහු මෙම රුපියල් 500ක මුදල අල්ලසක් ලෙස ලබාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත ලැබුණු දැනුම්දීමකට අනුව සිදුකළ විමර්ශනයේදී කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර තිබේ.
